brand logo

මාස්කින් ගැන දැන් හැමෝම ආස්කින්

02 February 2020

‘අරුණ’ කාර්යාලයේ සිට බෞද්ධයා නාළිකාවට ඇත්තේ හූවකටත් වඩා අඩු දුරකි. පසුගියදා ඒ ඉදිරිපිට හිමිදිරියේ හිමිනමක් වඩින ලද්දේ සිවුරෙන් නහය ඇතුළු ඔහුගේ පහළ කොටස තද කරගෙනය. ඒ හිමියන්ද සමගම අසල වූ පූජා භාණ්ඩ වෙළෙඳසලකට පිවිසුණෙමි. ‘‘මේ දැන් මෙතනින් එක ගෑනු කෙනෙක් මාක්ස් එකක් නැතිව ෂෝටක් ගහගෙන ගියා. නහයෙන් කටෙන් මොනා පිටවුණාද මන්දා, බයේ බැහැ. මටත් දෙන්නකෝ මාස්ක් එකක්.’’ ‘‘ආ හාමුදුරුවනේ... තාම පහන තිබ්බෙත් නෑ. මාස්කිං ගැන දැන් හැමෝම ආස්කිං. බේරිල්ලක් නැහැ.’’ පසුගිය වකවනානුවල මෙරට කළඹන ලද මාතෘකාව වූයේ රන්ජන්ගේ හඬපටය. දැන් හඬපට නැති බව මුළු රටේම අවධානය යොමුවී ඇත්තේ කොරෝනා ආක්‍රමණය ගැනය. රුසියාවේ වහින විට ලංකාවේ කොමියුනිස්ට්කාරයන් කුඩ ඉහළන බව එදා තිබූ ප්‍රකට කියමනකි. චීනයද කොමියුනිස්ට් රටකි. දැන් කොරෝනා වෛරසය ඇත්තේත්, ව්‍යාප්ත වන්නේත් චීනයේය. එහෙත් මුඛවාඩම් නොහොත් මාස්ක් පළඳින්නේ ලංකාවේය. පසුගිය දින කීපයේ කොරෝනා වෛරසයට බියෙන් මුහුණු ආවරණවලට ඇතිවූයේද දැඩි ඉල්ලුමකි. මේ ගැන අප සොයා බලන්නට පිටකොටුව පැත්තට ගියේ කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල අසලිනි. ඒ ඉදිරිපිට ප්‍රේමසිරි සුපර් මාර්කට් වෙළෙඳසලේ සිටියේ චීන ළඳකි. ඇය මුහුණු ආවරණයක්ද පැලඳ සිටියාය. ඇය සිටියේ ගමනක් යාමට ත්‍රිරෝද රියක් නවත්වා ගැන්මටය. අප ඉන්නා විට ත්‍රිරෝද රථ දෙක තුනක් ගියත් ඒවා ඇය දුටු විගස සිහිනෙන් අවදි වූවාසේ තිගැස්සී පළා ගියේ ඩුප්ලිකේෂන් පාරම දෙවනත් කරමිනි. පාර පැන ඊට ටිකක් එහායින් වූ බස් නැවතුම ළඟට යද්දී පදික වේදිකාවේ සිටි පුද්ගලයකු අපට කියුවේ මෙවැනි කතාවකි. ‘‘ඔය එන ගෑනු කෙනා දැන් පැය භාගයක් විතර ඉඳන් වාහනයකට අත දානවා. කවුරුත් ගන්නේ නැහැ. ඉන්ටර්සිටි බසුත් ඇය ළඟට ආවත් දොරවත් ඇරියේ නැහැ.’’ කොල්ලුපිටියෙන් ගාලු පාර හරහා අප පිවිසියේ ගෝල්ෆේස් පිටියටය. එහි මුහුදු සුළං විඳින්නට ආ බොහෝ දෙනා මුඛ ආවරණ පලඳා තිබුණි. එහි කුඩා කඩවල මුහුණු ආවරණ විවිධ අන්දමින් අලෙවියට තිබුණි. වෙනදාට අප ගෝල්ෆේස් එකට ගිය විට වීදි වෙළෙන්ඳෝ ළඟට ඇවිත් වික්කේ අන්නාසි, අයිස්ක්‍රීම් හෝ බැලුම් වැනි දේය. ඒත් අද මේ සංචාරක වෙළෙන්දාගේ වට්ටිවල ඇත්තේ මුහුණු ආවරණය. ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට ඇති රථවාහන පොලිසියේ රාලහාමිලාද මුහුණු ආවරණ පැලඳ සිටි අතර මාර්ග අනතුරුවලට වරදකරුවන් ඇල්ලූ විට ඔවුන් අතරද බොහෝ සිටියේ මුහුණු ආවරණ පැලඳ සිටි අයය. වාහනයක් එළවාගෙන ආ චීන ජාතිකයකු සුදු ඉර කැපූ නිසා පොලිස් රාළහාමි විසිල් ගසා වාහනය පේමන්ට් එක ළඟට ගත් මුත් ‘චීන ජාතිකයා’ දුටු විගස ඔහුට යන ​ලෙසට පොලිස් නිලධාරියා අතින් සංඥා කළේ බියපත් ස්වරූපයෙනි. ​කොරෝනා නිසා මුස්ලිම් ජනතාවගේ බුර්කාව නමැති මුළු මුහුණම වැසුණ ඇඳුමට හොඳ කලක් ගොස් ඇති බව අපට පෙනුණේ ගෝල්ෆේස් එකේය. බුර්කාවට අමතරව එම මුස්ලිම්වරුන් මුහුණු ආවරණ පැලඳ සිටි නිසා මේ ගමන් කරන්නේ මිහිපිට කාන්තාවක්ද නැත්නම් පුරුෂයෙක්දැයි සොයා ගැනීමට පවා අපහසුය.පිටකොටුවට ගිය අපට දැක ගන්නට තිබුණේ මේ ‘මාස්ක්’ නොහොත් මුහුණු ආවරණ විවිධ කාර්යයන් සඳහා භාවිතා කෙරෙන වර්ගීකරණයක් ඇති බවය. රෝගී තත්ත්වයත්, ශ්වසන රෝගයකින් පෙළෙන අය විෂබීජ වාතයට නිරාවරණය නොවන පරිදි සැකසූ මාස්ක්, එමෙන්ම වාහන ස්ප්‍රේ පේන්ට් කරන විට එන තිනර් සැරින් බේරීමටද මුහුණු ආවරණ ඇත. අන්තිමට ගැණුම්කරුවන් අවිචාරාත්මකව මුහුණු ආවරණ මිලදී ගැනීම නිසා තිනර් සැරට පැලඳන මුහුණු පලඳනාද තොග පිටින් රැගෙන ගොස් තිබුණි. රෙක්සිත් රෙද්දෙන් මසා ඊට යටින් තිනර්වලට ඔරොත්තු දෙන දැල් රෙද්දකින් ඇති මේ මුහුණු ආවරණ පැලඳීම ඉතා අපහසු බව එක් වෙළෙඳසල් හිමියකු අප සමග පැවසීය. ‘‘ඔය මාස්ක් දාගෙන ඉන්න අමාරුයි. තිනර් සැර පපුවට යන එකට, ලී වැඩ කරනකොට ලී ඩස්ට් එක යනවට, ලී බඩු පොලිෂ් කරනකොට ගන්නේ. දිගු වෙලාවක් අඳින්න අමාරුයි. වැඩේ ඉවර වෙනකම් දෙතුන් වතාවක් ගලවල හොඳට හුස්ම අරන් ආයි පලඳිනවා. සමහරු මේවත් පලඳිනවා. ඔහොම ගියොත් මැරෙන්නේ කොරෝනා හැදිලා නෙමෙයි හුස්ම හිරවෙලා’’ බොහෝ ටේලරයන්ත්‍රවල ඇති සංකේතවල ඇත්තේ බුර්කාව පැලඳ හෝ තොප්පිය, හෙල්මට්, මුහුණු ආවරණ පැලඳ ටේලර් යන්ත්‍ර කුටියට ඇතුළු නොවන ලෙසය. එහෙත් අද ටේලර් යන්ත්‍රවලින් මුහුණු ආවරණ පැලඳ මුදල් ගැනීම සාමාන්‍යකරණය වී තිබේ. එමෙන්ම බැංකුවකට ඇතුළු වූ විට බැංකු නිලධාරීන් සියල්ලන් මුහුණු ආවරණ පැලඳ සිටින නිසා අඳුනාගැනීමට නොහැකිය. මොන මුහුණු ආවරණ පැලඳ සිටියත් තමන් භාවිත කරන මුදල් කඩදාසිවල තැවරී කොරෝනා වෛරසයට පැමිය හැකි යැකි බව ඔවුන් නොදන්නවා විය හැකිය. පිටකොටුවේ තොග වෙළෙඳ පොළ තුළ මුහුණු ආවරණ නොහොත් මාස්ක් තොග වෙළෙඳ සල් ඇතතේ අවම සංඛ්‍යාවකි. ඒ වෙළෙඳ සල් අතරත් මුහුණු ආවරණ පමණක් විකුණන වෙළෙඳ සල් කිසිවක් නැත. ඔවුන් ‘මුහුණු ආවරණ’ අලෙවි කරන්නේ අනෙක් තොග බඩුත් සමගමය. ‘‘මේ මොනවට මෙහෙ ඇවිල්ලා රස්තියාදු වෙනවද? අර ඉන්ටර්නෙට් එකේ එක කොම්පැණියක් රුපියල් 10/- ට පාසල් ළමයින්ට මාස්ක් දෙනවා කියලා දාලා තියෙන්නේ. මේ දවස්වල ‘මාස්ක්’ තොග කඩයක් දැම්මා නම් පැය විසිහතරෙම බිස්නස් තියෙයි.’’ අප සිටින අතරම මෙම තොග වෙළෙඳුන්ගෙන් තුන් හතර දෙනකු ‘මුහුණු ආවරණ’ හෝ මාස්ක් තිබේදැයි විමසීය. දැන් පිටකොටුවේ තොග කඩවල පමණක් නොව ලංකාව පුරා ඇත්තේ මුහුණු ආවරණ හිඟයකි. එජාප නායක රනිල් වික්‍රමසිංහ ඉන්දියානු ආණ්ඩුවෙන් මුඛවාඩම් නොහොත් Face Mask ඉල්ලා සිටින්නේ ඒ නිසා විය යුතුය. මේ කොරෝනා වාතාවරණය නිසා එඩ්වඩ් ජයකොඩිගේ ‘මාරිම්බරී’ ප්‍රසංගය කල් තබන්නට තරම් බලගතු විය. එහෙත් එඩ්වඩ් මහත්තයා නිකුත් කොට ඇති ප්‍රවෘත්ති නිවේදනය දැක්වෙන ලියුම් කරදාසියේ ප්‍රසංගයේ ටිකට් සියල්ල විකිණී ඇති බවද සඳහන්ය. කොරෝනා ප්‍රශ්නයෙන් වැඩියෙන්ම බැට කෑවේ පාසල් සිසුන්ය. ඒ බොහෝ පාසල් ‘මුඛවාඩම්’ අනිවාර්ය කිරීම නිසාය. බොහෝ තැන්වල මුහුණු ආවරණ මිලදී ගැනීමට නැති නිසා දෙමාපියන් පත්වූයේ දැඩි අපහසුතාවකටය. අන්තිමට වැඩ බලන අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට පුවත්පත් සාකච්ඡාවක් පවා මේ ගැන කැඳවන්නට සිදුවිය. කොරෝනා වෛසරයෙන් ආරක්ෂා වීමට පාසල් සිසුන්ට මුහුණු ආවරණ පලඳින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය කිසිම චක්‍රලේඛයක් නිකුත් කොට නැති බව වැඩ බලන අධ්‍යාපන ඇමැතිවරයා සෘජුවම ප්‍රකාශයට කළේය. පසුගිය සතියේ රුපියල් පහට තිබූ මුඛවාඩම අන්තිමට සියයට හාරසියයකින් මිල ඉහළ ගොස් රුපියල් විස්සටත් නැතිවිය. අන්තිමට ආණ්ඩුව ‘මුකවාඩම් ප්‍රයිස් කන්ට්‍රෝල්’ එකක්ද ප්‍රකාශයට පත්කරන ලදී. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 142 වගන්තිය යටතේ මෙම උපරිම මිල ප්‍රකාශයට පත්කොට ඇත. එහි ඇත්තේ ශල්‍ය වෛද්‍යවරුන් භාවිත කරන මුහුණු ආවරණ සඳහා රු. 15/- ක උපරිම මිලක්ද, 95 වර්ගයේ අංශු ශ්වසන පෙරන සඳහා රු. 150/- ක උපරිම මිලකි. දැන් පාරිභෝගික කටයුතු අධිකාරිය අමුඩ තද කරගෙන වැඩට බැස ඇත්තේ කොරෝනා වෛරසය පැතිරීමට එරෙහිව නොවේ. වැඩි මිලට මුකවාඩම් අලෙවි කරන වෙළෙඳුන් අල්ලා උසාවි දමා දඩ ගැසීමටය. අන්තිමට නඩුකාරයන් මුඛවාඩම් දමාගෙන, පොලිස්කාරයෝත්, පාරිභෝගික අධිකාරියේ ඇත්තෝත් මුඛවාඩම් දමාගෙන වැඩි මිලට මුඛවාඩම් විකිණූ පුද්ගලයාට දඩ ගහන අන්දම හිතෙන් මවාගත හැකිය. ලංකාවේ කොරෝනා රෝගියකු යැයි සැක කළොත් ඇතුළත් කරන්නේ අයි.ඩී.එච්. රෝහලටය. පසුගිය බදාදා එහි කටයුතු පවත්වාගෙන යාමට දැඩි බාධාවක් වූයේ කොරෝනා බවට සැක රෝගීන් ඇතුළු කිරීම නිසා බියට පත් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ බොහොමයක් ලෙඩ නිවාඩු දැමීම නිසාය. මුඛවාඩම් දැමුවෝතින් කොරෝනාවෙන් බේරීමට නොහැකි බවට එය කදිම සාක්ෂියකි. මුඛවාඩම් ගැන රටපුරා අධික ඉල්ලුමක් ඇතිවෙද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පැවැසුවේ මුඛ ආවරණ ජාවාරම්කරුවන්ගේ උගුලට අසු නොවන ලෙසය. වෛද්‍ය නිලධාරී සංගමය පවසන්නේ ලංකාවේ කොරෝනා වසංගත තත්ත්වයක් නැති බවය. රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් හරිත අලුත්ගේ පවසන්නේ කොරෝනා වෛරසය බවට සැකකරන පිරිස්වලට හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රාජකාරි පිරිසට මුඛ ආවරණ පලඳින ලෙස දී ඇති උපදෙස් ගැන ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවය. මේ අතර මධ්‍යම පළාතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ලංකාව තුළ සතුන්ගෙන් කොරෝනා වෛරසය බෝවීමට කිසිදු අවදානමක් නැති බවය. කොරෝනා ව්‍යාප්ත වී ඇත්තේ වවුලන් හා සර්පයන්ගෙන් බව වාර්තා වී ඇති බැවින් ඉහත ප්‍රකාශය නොවන්නට අපේ මුඛවාඩම් ජාවාරම්කරුවන් මේ සතුන්ටද මෙලහකට මුඛවාඩම් අන්දා හමාරය. දැන් අයි.ඩී.එච්. රෝහලට ඇතුළු වූ ‘කොරෝනා සැකකරුවන්’ 23 න් 11 ක් ගෙදර ගොස් හමාරය. වසංගත රෝග විද්‍යා අංශය කියන්නේ මුඛ ආවරණ පැළඳිය යුතු බවට අනවශ්‍ය කලබලයක් නොකරන ලෙසය. එබැවින් තමන්ටම තමන් මුඛවාඩමක් දමා ගත යුතු දැයි තීරණය ඇත්තේ ඔබ අතේය. ගොල්ෆේස් එකේ අන්නාසි, බැලුම්, අයිස්ක්‍රීම් විකුණු වෙළෙන්ඳන් මුඛවාඩම් බිස්නස්වලට බැහැලා වජිර ලියනගේ
 

More News..