brand logo

මාස්ක් ගැන නොකියන කතාව

19 July 2020

මුඛවාඩම් නොහොත් මාස්ක්වල ඡන්ද ලකුණ සටහන් නොකරන ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයක් නිකුත් කරන ලදී. දැන් මාස්ක් හැමෝම දාන්නේ කොරෝනාවෙන් බේරීමටත් වඩා පොලිසියෙන් බේරීමටය. මාස්ක්වල ඡන්ද ලකුණ ගැහුවා කියන්නේ, කොරෝනාවෙන් බේරෙන්නට පලඳින මාස්ක් එකෙන් වෙනත් පල ප්‍රයෝජනයක් ගත්තා කියන එකය. මැතිවරණ කොමිසම දැක්කේ මාස්ක් එකෙන් ගත් එක ප්‍රයෝජනයකි. ඔය කියන මාස්ක් එකෙන් ගත හැකි අනන්ත අප්‍රමාණ පල ප්‍රයෝජන ගැන ඇසුවොත් ඔබ මවිතයට පත්වනු නියතය. මේ මාස්ක් පැලඳීම නිසා හස්බන්ඩ්ට වයිෆ්ව අඳුර ගැනීමට බැරි විය. වයිෆ්ට හස්බන්ඩ්ව හඳුනාගත නොහැකි විය. තමා දිහා බලාපොරොත්තු සහගතව සිටින අලුත් කෑල්ලක් යැයි සිතා එක් පුරුෂයකු මාස්ක් එකක් පැලඳි තරුණියකට තම දුරකථන අංකය දුන්නේය. ඊට ප්‍රතිචාරයක් ලෙස ලැබුණේ අතදිගහැර කනේ පාරකි. බැලුවාම මේ ගොයියා ඇඩ්‍රස් එක සහ අංකය දී තිබුණේ තමාගේම වයිෆ්ටය. මේ අත්දැකීම හස්බන්ඩ්ලාට ඇඩ්‍රස් දුන් වයිෆ්ලාටද අත් වී ඇති බව සැලකුව මනාය. ඇඩ්‍රස් එක කිව්වාට දැන් දෙන්නේ මෝබයිල් නොම්බරයය. ලංකාවේ නිතිඥයකු වීමට අවශ්‍ය වචන දහයක් කට පාඩම් කිරීම බව මට තහවුරු වූයේ පසුගියදාක නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේදීය. එදින එම අධිකරණයේ බිම් මහලේ සිට නඩුකාර උත්තමයා දක්වා සියල්ලන් සිටියේ මාස්ක් දමාගෙනය. නඩුවලට අදාළ පුද්ගලයන් බංකුවල වාඩි වී සිටියේද අඩි 3 ක පරතරය ඇතිවය. නඩු අංකයක් කියවුණි. නීතිඥයකු වහා ඉදිරිපත් විය. 'I Appear this case sir. වරද පිළිගනිමි ස්වාමීනි, සුදුසු දඩයක් නියම කරන ලෙස ඉල්ලා සිටිමි.’ ඔය සිංහලයෙන් කිව්වේ නීතිඥයකු ලෙස කට පාඩම් කරගත යුතු වචන දහයයි. 'Which person Are you Appear" යැයි නඩුකාරයා ඇසුවේ පලඳාගෙන සිටි මාස්ක් එක ඇස් මට්ටම ගනිමිනි. විත්ති කූඩුවේ කිසිවකු සිටියේ නැත. නඩුකාරයා ඇසුවේ ඔබ ඉදිරිපත් වන්නේ කවර නම් විත්තිකරුවකු වෙනුවෙන්ද යන බවය. ඇත්තටම සිදුවිය යුත්තේ කුමක්ද? බන්ධනාගාරයෙන් ගෙනා විත්තිකරු කූඩුවට නැගීමට පෙර බන්ධනාගාර නිලධාරියා ඔහුට මාස්ක් එකක් පැලඳීමට ගත් උත්සාහය නිසා මේ පලහිලව්ව සහ ප්‍රමාදය ඇති වී තිබුණි. මේ මාස්ක් එක හේතු වාසනාවෙන් ඔබට ඕනෑ නම් මත්පැන් පානය කොට ඕන ෆන් එකක් ගැනීමට ඔබට අවස්ථාව උදා වී ඇත. ඔබ කළ යුත්තේ පමණට පදම් වූ විට මාස්ක් එකක් දමාගෙන රථය ස්ටාට් කොට ගමන පටන් ගැනීමය. මත්පැන් පානය කොට ඇත්දැයි පරීක්ෂා කරන්නට කොරෝනාවට පෙර නම් පොලිස් නිලධාරින් ඔබේ මුවට ළං වී තොරතුරු විමසුවේ කිරි බොන්නට මෙන් සමීපවය. ඔබට ඇත්තේ එවිට මාස්ක් එක පිටින්ම පොලිස් නිලධාරියාගේ මුහුණට කැහීමයි. ‘‘මට මේ කොරෝනා ලක්ෂණ තියෙනවා කියපු නිසා මේ පරීක්ෂණයක් කරගන්න ඉස්පිරිතාලේ යනවා’’ ඔබට කියන්නට ඇත්තේ එපමණකි. පොලිස් නිලධාරියා ඔබට සැනෙකින් යන්නට දෙන්නේ අහක යන කොරෝනාවක් බෝවන්නට ගොස් නූලෙන් බේරුණාක් මෙනි. මිරිහානේ සිට කොළඹ හතේ විජේරාමයේ අරුණ කාර්යාලයට ඉඳහිට පයින් එන විට මා නිතර සිතූ කරුණක් නම් ඩීසල් දුමෙන් බේරෙන්නට මාස්ක් එකක් පලඳින්නේ කෙසේද කියාය. එහෙත් මාස්ක් එකක් පලඳින්නට අදිමදි කළේ, හදවත් රෝගීන් හා විවිධ බෝවන රෝගීන් එම මාස්ක් පැලඳීම නිසා මාත් ඒ වල්ලටම වැටෙන නිසාය. ඒත් දැන්නම් තත්ත්වය පංකාදුය. කිසි බයක් හැකක් නැතුව මිරිහානේ සිට විජේරාම කොළඹ 07 ට කිලෝ මීටර් අටක් මාස්ක් එකක් දාගෙන ඇවිදගෙන ආ හැකිය. කොරෝනාව නැතිවුණ කාලයක වුවද ඩීසල් දුමෙන් බේරීමට ‘මාස්ක්’ එක නම් පංකාදුය. මාස්ක් එකෙන් දැන් තවත් ප්‍රයෝජනයක් ඇත්තේ රැවුලටය. දැන් කොල්ලන් වයස පහළොව පසුවෙද්දී කොණ්ඩෙත් ඉදී, රැවුලත් ඉදී අපට සිහි කරන්නේ ජූජක බමුණාගේ ස්වරූපයයි. පසුගියදා නිව් මූර් ස්ට්‍රීට් හි හාඩ්වෙයාර් එකකට ගිය විට බඩුදෙන පුද්ගලයාට මුදලාලි විධානයක් කළේය. ‘‘උදේ ඉඳන් කියනවා ඔය මාස්ක් එක දාගෙන කියන එව්වා කස්ටමර්ලාට තේරෙන්නෑ කියලා.’’ ඊට පසු සේවකයා පිළිතුරු දුන්නේ අපට නොතේරෙන දෙමළෙනි. ඔහු කිව්වේ අද රැවුල ඩයි කරගෙන ආපු නැති නිසා මාස්ක් එක ගැලවිය නොහැකි බවය. රැවුල ඩයිකරන අයට මාස්ක් එක ආවරණයක් වූවා මෙන්ම දත් නොමදින, කටෙන් ගඳක් වහනය වන මෙන්ම අන් අයට පේන්න මවුත් වොෂ් පාවිච්චි කරන අයටද ‘මාස්ක්’ එක මහා ආභරණයක් වී හමාරය. ජාතික ලේඛනාගාරයේ හා පුස්තකාල සේවා මණ්ඩලයේ ඇති ඉපැරණි පුවත්පත් බලන විට එයින් එන පරණපත්තරයේ කුඩු දූවිල්ලෙන් බේරීමට මාස්ක් එකක් පැලඳීම සුදුසුම පිළියමයි. වරක් ආතර් යූ. අමරසේන නම් පුවත්පත් කලාවේදියා රෝගුතරව සිටියේය. රෝගාතුව හේතුව වූයේ ඉපැරණි පුවත්පත් රැසක් පෙරළමින් තොරතුරු රැස් කිරීමේදී නාසය හරහා එම පත්තරවල දුහුවිලි පෙණහලුවලට යාමය. දැන් ඡන්ද කොමසාරිස්තුමා කියන්නෙ ඡන්දය ලකුණු කිරීමට පෙර මාස්ක් එක ගලවා මූණත්තහඩුව පෙන්වන ලෙසය. මේ මාසක් මෙරට මැතිවරණ ක්‍රමය තුළත් බලගතු සාධකයක් වී ඇත්තේ එසේය. නමුත් ආණ්ඩුව තවම ඡන්ද මධ්‍යස්ථානවල නියුතු සේවක සේවිකාවන්ට මාස්ක් පැලඳීම අනිවාර්යය කරමින් ‘ගැසට්’ නිවේදනයක් නම් ගැහුවේ නැත. පසුගියදා මංගල ජෝඩුවක මනාලයා මිය පරලොව ගියේ ප්‍රී ෂූට් එකකට යාමේදීය. දැන් වෙඩින් ෆොටෝවල මනාලයා සහ මනාලිය ඉන්නේත් මාස්ක් දාගෙනය. ඒත් ඉතිං පහු පහු වෙනකොට බැඳපු කාලය ගැන හෙළිවන්නේ මේ පින්තූරවලය. ඒත් ඉතිං හනිමුන් යන්නට ප්‍රි ෂූට් නැති නිසා ‘පැණි සඳට’ මෙය අදාළ නොවන බව සැලකුව මනාය. කොරෝනා නිසා මංගල යෝජනා දැන්වීම් ද වෙනස්විය හැකිය. ‘‘වයස 59 වූත්, 24 ළාබාල පෙනුමැති දියණියට සුදුසු සහකරුවකු දෙමව්පියෝ සොයයි. මඟුල තීන්දු වුණොත් පමණක් මාස්ක් එක ගලවා මුහුණ පෙන්වනු ලැබේ’’ වැනි දැන්වීම්ද ඉදිරියේදී පත්තරවල පළවනු ඇත. මොනවා වුවත් දැන් මාස්ක් දැවැන්ත පරිසර ප්‍රශ්නයක් වී හමාරය. තැන තැන දමා යන මාස්ක් නිසා දැන් රටේ හංදියක මාස්ක් දෙතුන් සියයක් පාරේ ඇත. මේ ඉවතලන මාස්ක් එකට ඇති විසඳුම ගත හැක්කේ බුදුදහමෙනි. බුදුසමයේ භික්ෂූන් සිවුරට ගත්තේ මිනී එතූ රෙදි කුඩා කෑලිවලට කපා මැසීමෙනි. අවසන එය දිරාපත් වූ විට කටුමැටි බිත්තියට අනා දමා බිත්ති බැඳීම සිරිත විය. දැන් එය මාස්ක් එකත් බැහැර කිරීමේදීද වරිච්චි බිත්තියකට මැටි අනන විට එයටම දමා අනා බිත්තිය බැඳීමට ගැනිම හොඳම ක්‍රමවේදය නොවේද?   වජිර ලියනගේ
 

More News..