brand logo

මාව වැරදිකාරියක් කරන්න හදපු අයට තමයි වැරදුණේ

29 July 2020

රිදී තිරය ඇය ගැන බලාපොරොත්තු තබා ගත්තා, ප්‍රේක්ෂකයා ඇගේ රංගනය ගැන විශ්වාසය ඇති කර ගත්තා. සිංහල සිනමාව වෙනුවෙන් දර දිය ඇද්ද ඇගේ පියා ඇය ගැන හීන දැක්කා. ඒත් නොසිතු මොහොතක ඈ හැම දෙයින්ම ඈත් වුණා. නිහඬ වුණා. නමුත් සියලු ප්‍රශ්න වලින් මිදී දැන් ආයෙමත් ඇය කරලියට ඇවිත්. ඇය නමින් ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද්. දිනේෂ් ප්‍රියසාද් ගේ මද්දුම දෝණි. අපි ඇය ගැන, ඇගේ අනාගත හීන ගැන කතා කළා. මොනවද මේ දවස්වල වැඩ කටයුතු? කිසිම වැඩක් නෑ.... බොහොම සතුටින් කාලා බීලා ගෙදරට වෙලා ඉන්නවා. ගෙදරට වෙලා ඉන්න එක ශේෂාද්‍රිට සතුටක් වුණාට, ප්‍රේක්ෂකයා සතුටු වෙන්නෙ ඔබව නිර්මාණවලින් දකින විට? ඇත්ත. මමත් අලුත් නිර්මාණ කීපයක් ගැනම හිත හිත හිටියේ. ආරාධනා කීපයක් ලැබුණා. සමහර නිර්මාණවලට කැමැත්තත් දුන්නා. ඒත් රටේ පවතින තත්ත්වයත් එක්ක ඒවා දින නියමයක් නැතුව කල් ගියා. දෙරණෙ මම ඉදිරිපත් කරපු වැඩසටහනත්, සිරසෙ හඬකැවීම් වැඩකටයුතුත් අතරමඟ නතර වුණේ COVID වසංගතය නිසා. එහෙම නැතුව ඔන්න මගෙ වැරැද්දක් නිසා නෙමෙයි. ශේෂාද්‍රි ගුරුවරියක් විදියටත් කටයුතු කරනවානේ. මේ දවස්වල කොහොමද ගුරු භූමිකාවෙ තත්ත්වය? මම පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කථිකාචාර්යවරියක් විදියට වැඩ කරනවා. මේ දවස්වල යන්න බැරි නිසා අන්තර්ජාලය ඔස්සේ තමයි දැනුම බෙදා දෙන්නේ. වැඩ නෑ කියන්නෙ අතමිටත් හිඟ ඇති? ඇත්ත. ඒත් ඉතින් මම කවදත් නැව ගිලුණත් බෑන් චූන්නේ. නැති දේවල් ගැන දුක් වෙනවට වඩා තියෙන දේ ගැන හිතලා සතුටු වෙනවා. ඔබ රූප රචනයෙන් දායක වෙන ක්‍රිෂාන් මාලන් ‍පෙරේරාගෙ “මායාවී ආ” ගීතයේ අරුත ‍ඔබේ සැබෑ ජීවිතයටත් බොහොම සමීපයි. එහි කියන විදියට ඔබත් දහසක්ම වේදනා , ලෝකයේම චෝදනා, වගේම හිත රිදෙනා කතා විඳගත්, ඒවාට මුහුණ දුන් කෙනෙක්. ජීවිතේ එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න හිත හයිය කර ගත්තෙ කොහොමද? මමත් හිතින් වැටුණු අවස්ථා තිබුණා. ඒත් මම හිත හයිය කර ගත්තා. හිතේ විශ්වාසය ඇති කර ගත්තා. මම අදහන ආගම, මගේ වටේ හිටපු ළඟම කීප දෙනා , මගේ හිත හයිය කර ගන්න ශක්තියක් දුන්නා. ඊට පස්සෙ මම ම මගේ ප්‍රශ්න තේරුම් අරගෙන ඒවාට විසඳුම් හොයාගත්තා. මගේ හිත වගේම මනසත් ශක්තිමත් කර ගත්තා. සැපේදී ඕනෑ තරම් අය ළඟ හිටියත් දුකේදි ඉතුරු වෙන්නෙ කීප දෙනයි. මේ කාලේ දි ශේෂාද්‍රි තමන්ට ඉන්න සමීපතමයො හඳුනාගන්න ඇති? කරදරයකදි විතරක් නෙමෙයි මම කවදත් කාගෙන්වත් කිසිදෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ. මෙයා මට මෙහෙම කරයි, මේ විදියට උදව් කරයි කියලා බලාපො‍රොත්තු වුණොත් තමයි බලාපොරොත්තු විදියට නොකළහම හිතට දුක හිතෙන්නේ. ඒ නිසා මම තව කෙනෙක්ගෙ උදව් හෝ හිතවත් කම් ගැන අනවශ්‍ය බලාපොරොත්තු තියාගෙන නෑ. මේ ප්‍රශ්නෙදි වුණත් මට උදව් නොකලා කියලා කිසි කෙනෙක් ගැන තරහක් නෑ. මහා වැස්සකට පස්සෙ ඇති වෙන නිහඬ බව ශේෂාද්‍රිගෙ ජීවිතයෙත් තිබුණා. ඔබ නිහඬ වුණේ ලෝකයාගෙ චෝදනාවලට බයේද? බයකට නෙමෙයි. මට ඕන වුණේ නෑ ප්‍රසිද්ධියේ වෙච්ච දේ ගැන කියන්න. වෙච්ච දේ ගැන ‍චෝදනා කරන්න. චෝදනා කරන අයට උත්තර දෙන්න. මොකද මේ කිසිම දේකින් ප්‍රශ්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑනේ. හැම දේටම හොඳම පිළිතුර නිහඬ බව කියලා මම තේරුම් ගත්තා. මම නිහඬ වුණාට මගේ අරමුණු අත හැරියේ නෑ. අතරමග නතර වුණ අධ්‍යාපන කටයුතු නිමා කළා. උපාධිධාරිණියක් වුණා. ගුරුවරියක් වුණා. ඒ පැත්තෙන් මම ඉදිරියටම ගියා. මට චෝදනා කරපු, මම වැරදිකාරියක් කරන්න උත්සාහ ගත්ත අය තාම එතැන. ඒත් මම නොසැලී මගේ අරමුණු කරා ගියා. ඔබ හැදෑරීම් කළේ පූර්ව සංවර්ධන ළමා විය ගැන. මේ කාලේ ‍හැටියට හොඳට මාකට් කරන්න පුළුවන් විෂයක්. තමන්ගෙම කියලා අධ්‍යාපන ආයතනයක් පටන් ගන්න ඕනෑ කියලා හිතෙන්නෙ නැද්ද? කවදා හරි මගේ හීනය තමයි ඒක. හැබැයි ඒක එක හීනෙන් හැබෑ වෙන්නෙ නෑ. අත්දැකීම් වගේම ප්‍රාග්ධනයකුත් අවශ්‍ය වෙනවානේ. හෙමින් හෙමින් ඒ හැමදේම එකතු කර ගන්න ඕනෑ. ශේෂාද්‍රි කියන රංගන ශිල්පිණියට අනාගතයේ මොනවා වෙයිද? ඔබේ තාත්තා හීන දැක්කෙ කවදා හරි ඔබ මාලනිය වගේ නිළි රැජිනක් කරන්න. ප්‍රේක්ෂකයොත් ඔබේ අනාගත සිනමා දිවිය ගැන ඒ හා සමානව හීන දැක්කා? තාත්තාගෙ හීන පැත්තකින් තියමුකෝ. ඒ තාත්තානේ. තාත්තා කෙනෙක් කොහොමත් දරුවන් ගැන හීන දකිනවානේ. ඒත් ප්‍රේක්ෂකයො මං ගැන එහෙම බලාපොරොත්තුවක් තියනවා නම් ඒක මට වැදගත්. මොකද ප්‍රේක්ෂකයො නැතුව අපිට ගමනක් නෑ. මාලනී ආන්ටි ඒ තත්ත්වය උදා කරගත්තෙ කාලයත් එක්ක. රඟපාපු චිත්‍රපට, ලැබුණු සම්මාන, කරපු කැපකිරීම් හා ප්‍රේක්ෂක ආදරය, මේ හැම දෙයක් නිසාම තමයි ඇයට නිළි රැජින වෙන්න වාසනාව ලැබුණේ. මට විතරක් නෙමෙයි අපේ පරම්පරාවෙ කාට වුණත් ඒ තත්ත්වයට එන්න නම් හොඳ නිර්මාණ බිහි වෙන්න ඕනෑ. හොඳ නිර්මාණ බිහි වෙනවා නම් චරිතයක් වෙනුවෙන් කැප වෙන්න මම ලෑස්තියි. තාම ඉන්නෙ සිනමාව විතරයි පුංචි තිරය එපා කියන මතයේද? ඒක මම දාගත්ත වාරණයක්නේ. පහුගිය කාලෙ නම් ලැබුණ ආරාධනා එක්ක හිත ටිකක් වෙනස් වෙන්නත් ගියා. ඒත් ‍ COVID නිසා ප්‍රශ්නය ටිකක් යට ගියා. ටෙලි නාට්‍ය රඟ නොපෑවාට මියුසික් වීඩියෝවකට නම් බෑ නොකියා රඟපෑවා? අවුරුදු එකොළහකට පස්සෙ තමයි මම මියුසික් වීඩියෝවක රඟපෑවෙ. ඒ ක්‍රිෂාන්ගෙ මායාවී ගීතයට. ලොකූ දෙයක් කරන්න තිබුණෙ නෑ. ඒත් ප්‍රේක්ෂකයන් ඒ පුංචි දෙයිනුත් සතුටු වුණා. ආදරය, විවාහය කියන මාතෘකාත් මේ කතා බහේදී මඟ අරින්න බෑ? ඔව්... ආදරයත් ඕනෑ... කවදාහරි දවසක මමත් විවාහ වෙනවා. විවෘතව කතා කරමුකෝ. ශේෂාද්‍රි දැන් පෙම්වතියක් නේ? හංගන්න දෙයක් නෑ. මට පෙම්වතෙක් ඉන්නවා. අවුරුදු එකොළහකට පස්සෙ මියුසික් වීඩියෝවක රඟපාන්න හිත වෙනස් කරගන්න තරමට ඔබේ ආදරය ප්‍රබල වුණා? ක්‍රිෂාන් මට මේ වීඩියෝව කර අවුරුදු එකොළහකට පස්සෙ මියුසික් වීඩියෝවක රඟපාන්න හිත වෙනස් කරගන්න තරමට මගේ ආදරය ප්‍රබල වුණා? ක්‍රිෂාන් මේ වීඩියෝව කරන්න කිව්වෙ නෑ. මොකද මම බෑ කියන බව එයා දන්න නිසා. මම අහපු ගමන් බෑ කිව්වොත් හිතට හොඳ නෑනේ. ඒ නිසා එයා මේකට වෙන කෙනෙක් හෙව්වා. ඒත් හිතට හරියන කෙනෙක් ලැබිලා නෑ. ඒ නිසාම වීඩියෝව කරන එක දිනෙන් දින කල් ගියා. ඔය අතරෙ මම ඒ ගීතය එක දිගට ඇහුවා. ජීවිතයේ ප්‍රශ්නවලින් මිදිලා ආයෙමත් ලස්සන ජීවිතයක් ආරම්භ කරන්න යන කෙනෙක්ගෙ සිතුවිලි ඒ පද අතර තිබුණා. මමත් ප්‍රශ්න වලින් මිදිලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක්. ඒ ගීතය මට දැනුණා. ඒ නිසාම මම ක්‍රිෂාන්ගෙන් ඇහුවා මම ඒ චරිතෙ කරන්න ද කියලා. ක්‍රිෂාන් එකපයින් කැමැති වුණා. එයාට මගෙන් අහන්න බැරුවනෙ ඉඳලා තියෙන්නේ. මියුසික් වීඩියෝ​ෙව රඟපාන්න එනවද කියලා ඇහුවෙ නැති වුණාට ජීවිතයේ අලුත් පිටුවක් පෙරළන්න ආරාධනා කරන්න ඔහු ඔබට කළින් ඉස්සර වෙන්න ඇතිනේ? අපෝ ඔව්. අපි දන්න විදියට ක්‍රිෂාන් ඔබේ සොයුරිය ඩිනක්ෂිගෙ මිතුරෙක්. අක්ක ද ඔය කපු කම කළේ? අක්කියි මමයි ක්‍රිෂාන්ව අඳුනාගත්තෙ 2008 දී. අපි දෙන්න කරපු සී වයිබ්ස් වැඩසටහනේ නවක ගායකයෙක් විදියට ක්‍රිෂාන් සහභාගී වුණා. එදා තමයි අපි දැන අඳුන ගෙන යාළුවො වුණේ. අපි එදා ෆොටෝ එකක් ගත්තා. ඒ ෆොටෝ එකට ක්‍රිෂාන්ගෙ නංගිත් හිටියා.මම සාමාන්‍යයෙන් දුරකථනයෙන් කතා බහ කරමින් ලොකුවට යාළුකම් පවත්වන්නෙ නෑ. ක්‍රිෂාන්වත් අඳුනාගත්තට ලොකු සම්බන්ධතාවක් අපි දෙන්නා අතරෙ තිබුණේ නෑ. හැබැයි ක්‍රිෂානුයි අපේ අක්කියි නිතර කතාබහ කරන තමන්ගෙ දේවල් ෂෙයා කරගන්න තරමට හොඳ යාළුවො වුණා. ඒ නිසා ක්‍රිෂාන් අපේ ගෙදර ආව ගිය හොඳ මිතුරෙක් වුණා. මම ප්‍රශ්න වලින් මිදිලා ඉන්න කාලෙමයි ක්‍රිෂානුත් එයාගෙ ජීවිතේ ඇති වුණ ප්‍රශ්න නිරාකරණය කරගෙන නීතිමය පැත්තෙනුත් නිදහස් වෙලා තිබුණෙ. ඇත්තටම අපෙ අක්කි තමයි ක්‍රිෂාන්වයි මාවයි ආයෙමත් මුණ ගැස්සුවෙ. එයාට අපි දෙන්නා ගැනම අවබෝධයක් තිබුණ නිසා අපි ගැළපෙනවා කියලා හිතෙන්න ඇති. ඒ කතාබහෙනුත් කාලයකට පස්සෙ තමයි අපි දෙන්නා අපි ගැන තීරණයක් ගත්තේ. දැන් දෙන්නා පෙම්වතුන්නේ. කවදද දෙන්නා එක වහලක් යටට යන්නේ? ළඟදීම නම් නෑ. ඒත් අපි තව ටික කාලෙකින් විවාහ වෙනවා. ලොකු හදිස්සියක් අපි දෙන්නටම නෑ. ඒත් අලුත් බලාපොරොත්තු නම් හුඟාක් ඇති? බලාපොරොත්තු තියෙනවා. ඒත් ඒවා මහා ලොකු දේවල් නෙමෙයි. හැම දෙයක් ගැනම හොඳට හිතලා තීරණය ගන්න ඕනෑ. මොකද අපි දෙන්නටම එක පාරක් වැරදුණා. දෙවැනි පාර එහෙම වෙන්න දෙන්න බෑනේ. අක්කයි නංගියි ගැනත් කතා නොකළොත් අඩුවක්? අක්කි හරිම කාර්යබහුලයි. එක ගෙදර හිටියත් මට එයාව හම්බවෙන්නෙ නැතිම තරම්. අක්කි උදේ යනකොටත් මම නිදි. ෂූටින් ඉවර වෙලා රෑට ගෙදර එනකොටත් මම නිදි. පහුගිය කාලේ ගෙදර ඉන්න කොට සෑහෙන කාලෙකට පස්සෙ මට අක්කිව ළඟින් ඇසුරු කරන්න ලැබුණා. අපි අපේ හිත්වල තියෙන දේවල් කියා ගත්තා. නංගියි මමයි එකම කාමරේ ඉන්න නිසා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අපි දෙන්නට අපි දෙන්නා ඉවසන්න වෙනවා. අක්කි තමයි මඟ ඇරුණේ. පහුගිය කාලේ අපි එකට කෑම බීම හැදුවා. ජීවිතයේ කාර්ය බහුල කම නිසා මඟ ඇරුණු හුඟක් දේවල් සමීප වුණා. දැන් නම් ආයෙමත් අක්කි පුරුදු පරිදි වැඩ පටන් ගත්තා. ඒ නිසා ගෙවුණු කාලය ගැන මට තියෙන්නෙ සතුටක්. හිමේෂා සවන්තී රාජපක්ෂ  
 

More News..