brand logo

මාව මෙතන්ට ගෙනාවේ මගේ ආදරය

20 July 2020

නිලාන් හෙට්ටිආරච්චි ගායනා කරන ‘යන්න යනවද’ ගීතය අන්තර්ජාලයේ ලක්ෂ පනහකට වඩා පිරිසක් නරඹා තිබෙනවා. මේ නිසාම බොහෝ යුවතියන්ගේ ආදරණීය සිහින කුමරා වන්නට නිලාන්ට හැකිවෙලා. මේ නිසාමයි අපි ඔහු සමග කතාබහට එකතු වුණේ. සින්දු කියන්න අරගෙන කොච්චර කල්ද? මම දන්න කාලේ ඉඳන්ම සින්දු කියනවා. මගේ උපන් ගම වත්තල. නායකකන්ද පිරිමි විද්‍යාලයේ මූලික අධ්‍යාපනයත්, කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලැබුවා. පාසලේ ගෙවුණ හැම දවසකම හීන දැක්කේ ගායකයෙක් වෙන්න. ඒ වෙනුවෙන් මොනවද කළේ? දැන් කල්පනා කරනකොට හිතෙනවා මොනවද නොකළේ කියලා. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම බෑන්ඩ් හදාගෙන සෙල්ලම් කළා. කරපු හැම රස්සාවක්ම නැති වුණේ ගායනය නිසා. ප්‍රසංගවලට යනවා ජොබ් එකට නිවාඩු දානවා. සංගීතය නිසා රැකියාවක්වත් කරගන්න බැරි වුණා. කව්ද ඔබට උදව් කළේ? මගේ දයාබර බිරිඳ තමා මගේ ළඟින් උන්නේ. රුවනි ප්‍රනාන්දු. උසස් පෙළ ඉගෙන ගන්නකොට මගේ ප්‍රේමවන්තිය. මම ඉස්සරහට තියපු හැම පියවරක් පාසාම ඇය මා ළඟ උන්නා. මතක් කරන්නකෝ ඒ අතීතය? මම අවුරුදු පහක් රැකියාව කළේ පෞද්ගලික ආයතනයකනේ. මට තාමත් මතකයි එතකොට මගේ වැටුප රු. දහඅටදාහයි. පළවෙනි මියුසික් වීඩියෝ එක කරන්න රුපියල් ලක්ෂ දෙකක ණයක් ගත්තා. මාසික වාරිකය රුපියල් එකොළොස් දාහයි. අවුරුදු දෙකක් රුපියල් හත්දාහකින් ජීවත් වුණා. පුදුම දුකක් වින්දා. ප්‍රතිඵලයක් ලැබුණද? 2015 වර්ෂයේ සුපර් ස්ටාර් තරගයට ඉදිරිපත් වෙන්න තීරණය කළා. කොහොම හරි එම තරගයෙන් දෙවන ස්ථානය ලබාගත්තා. සුපර් ස්ටාර් තරගයේ කියපු මගේම ගීතයක් වන මියැදෙන්නට මා ගීතය නිසා තරගය නිමා වෙනකොටම ලොකු ජනප්‍රියත්වයක් හිමිවෙලා තිබුණේ. ඔබ බොහෝ දෙනා අතරට පැමිණි ගීතය මතකද? ‘ලෝකයෙන් යමු’ ගීතයත් සමග තමයි ප්‍රේක්ෂකයෝ අතරට මාව තල්ලු වෙන්නේ. සුපර් ස්ටාර්වලින් පස්සේ යම් ජනප්‍රියත්වයක් ලැබුණා. සංගීත කණ්ඩායම් කීපයක වැඩ කළා. අවසානයේ ‘ලෝකයෙන් යමු’ ගීතය මිලියන දහයක් විතර නරඹලා තිබුණා. දැනට මාස හතරකට විතර කලින් දාපු ‘යන්න යනවා නම්’ ගීතයටත් ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. දැනට ඒ ගීතයත් මිලියන පහළොවකට වඩා ප්‍රමාණයක් අහලා තියෙනවා. අන්තර්ජාලය හරහා ඔබ ඉතා ඉහළ මුදලක් උපයනවා? අන්තර්ජාලය හරහා ගීතවලට ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන්නේ දැන් ගීත රසිකයන් අතරට ගෙනියන්න යූ ටියුබ් එක ලොකු උදව්වක් වෙනවා. විශේෂයෙන් කොරෝනා කාලයේ බොහෝ දෙනෙක් යූ ටියුබ් හරහා ගීත නැරඹුවා. ඒක නිසා සාධාරණ මුදලක් අපිට අන්තර්ජාලය හරහා ලැබෙනවා. එහි වටිනාකම මේ දිනවල ඉතා හොඳින් දැනෙනවා. ඔබ ගායනා කරන ගීතවලට බාල සින්දු කියලා සමහරු කියනවා මම අවසාන අවුරුද්දේ ගායනා කරපු ගීත මිලියන ගාණක් බලලා තියෙනවා. මේ ගීත බාලයි කියනවා නම් ඇයි මෙච්චර ප්‍රමාණයක් නරඹන්නේ? ලංකාවේ ඉන්න මිලියන ගාණක රසිකයෝ බාල නිර්මාණ බලන අය නෙමේනේ. මුදල් වෙනුවෙන්ද ඔබ ගීත කියන්නේ? හැමෝම මුදල් වෙනුවෙන් නේද වැඩ කරන්නේ? කවුරුත් නිකන් සින්දු කියන්නේ නැහැනේ. මමත් එහෙමයි. රුපියල් හයදාහකින් අවුරුදු දෙකක් ජීවත් වෙනකොට කවුරුත් ඇවිත් උඹ කෑවද, බිව්වද කියලා මගෙන් ඇහුවේ නැහැ. අතේ ඇඟිලි ප්‍රමාණයටත් අඩු පිරිසක් මගේ ළඟ උන්නේ. මම මුදලක් උපයා ගැනීම වැරැද්දක්ද? හොඳ නිර්මාණ කරන්න අදහසක් නැද්ද? මිලියන ගාණක් බලන්නේ නිර්මාණය හොඳ නිසානේ. මම මෙහෙම කියන්නම්කෝ. මමත් කැමැතියි හොඳ ප්‍රබුද්ධ ගීත කියන්න. නමුත් ඒකෙන් මට මුදලක් ලැබෙයිද කියන එක සැකයි. මේ වෙලාවේ මගේ ගීතවලට ඉහළ ඉල්ලුමක් තියෙනවා. කාලයක් මම මුදල් නැතිව දුක් වින්දා. දැන් මට මුදලක් උපයන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ වෙලාවේ මම යම් මුදලක් සොයා ගත යුතුයි. මම ස්ථාවර වුණාම තෘප්තිය වෙනුවෙන් හොඳ නිර්මාණයක් කරනවා. හැබැයි ඒක අනාගතයේ වෙන දෙයක්. මුලින්ම අපි අපේ පැවැත්ම සාදා ගත යුතුයි. අපි ශක්තිමත් වුණොත් තමා කෙලින් හිටගෙන යමක් කරන්න පුළුවන්. මේ දවස්වල වැඩ කටයුතු මොනවාද? මේ දවස්වල කිසිම ප්‍රසංගයක් නැහැ. අප්‍රේල්, මැයි මාසවල වැඩ සීයකට වඩා තිබුණා. නමුත් සියල්ල අවලංගු වුණා. පසුගිය කාලේ කීයක් හරි හොයාගත්ත නිසා ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙනවා. ඒ කියන්නේ ඔබට ප්‍රශ්නයක් නැහැ? ඇයි නැත්තේ? ප්‍රශ්නයක් තමයි. නමුත් මේක ගෝලීය වසංගතයක්. රට වෙනුවෙන් ඉවසන්න වෙනවා. ගිය අවුරුද්දෙත් පාස්කු ප්‍රහාරය නිසා ප්‍රසංග නැති වුණා. ඒක හරියාගෙන එනකොට මේ දේ සිද්ධ වුණේ. රටට ප්‍රශ්නයක් ආපුවාම අපේ ප්‍රශ්න කියලා රට අසරණ කරන්න තරම් අපි නරුමයෝ නෙවේ. ප්‍රශ්න ඉවසාගෙන වැඩ කරනවා. අනාගතය යහපත් වෙයි. පෞද්ගලික ජීවිතය ගැන වචනයක් කියන්න කැමැතිද? දෙදහස් දාහත අවුරුද්දේ විවාහ වුණා. ඇය මගේ එකම නොවෙනස් ප්‍රේමය. ඇය තමා මුල ඉඳන්ම මාව බලාගත්තා. 2016 අපි විවාහ වෙන්න උන්නේ. සුපර් ස්ටාර් අවසාන තරගය නිසා රුවනිම කිව්වා තව අවුරුද්දක් ඉමු කියලා. අනෙක් කැපකිරීම් කරපු ආදරණීය බිරිඳක් මට ඉන්නේ කියලා ආඩම්බරයෙන් කියනවා. ඇය ආදරය කළේ මගේ ජනප්‍රියත්වයට නෙමේ. මගේ හදවතට. ඇය නැත්නම් මම මෙතන නැහැ. ගිය අවුරුද්දේ අනතුරකට මුහුණ දුන්නා නේද? සනිධප සංගීත කණ්ඩායම සමග ගිය අවුරුද්දේ ඉතාලි ගිය අවස්ථාවේ ලොකු අනතුරක් සිද්ධ වුණා. හයි වේ එකේදී අපේ වාහනේ හැප්පුණා. නමුත් ජීවිතේ බේරුණා. තාම මගේ කකුලක් රිදෙනවා. ඒ අනතුරින් බේරෙන්න ඇත්තේ තව කාලයක් අපිට අවස්ථාව තිබෙන නිසා වෙන්න ඇති. දෛවය තමා මේ හැම දෙයක්ම කරන්නේ. ක්‍රිශාන්ත පුෂ්පකුමාර ඡායාරූප- ඉන්දික මලල්වආරච්චි
 

More News..