brand logo

මාව උඩින් පාත් කරන්න ලොකු අම්මා අකමැති වුණා

04 January 2021

කලා පවුල්වලින් රංගනයට එකතු වෙන අය ඕනතරම්. කලා ක්ෂේත්‍රයකින් රංගනයට පය තිබ්බා කියලා නම රැකගන්න වගේම ක්ෂේත්‍රයේ රැකෙන්න හැකියාවක් නැහැ. පටන් ගැන්මට කලා පවුලක ආභාෂය වැදගත් වුණත් ඔවුන්ට කලා ක්ෂේත්‍රය තුළ රැකෙන්න වෙන්නේ තමන්ගේ හැකියාවෙන්ම විතරයි. යශ් වීරසිංහ කියන්නෙත් කලා පවුලක ආභාෂයත් රැගෙන කලා ක්ෂේත්‍රයට පය තියලා දැන් රංගනයේ සුවිශේෂි රංගන හැඩතලයක් වෙලා හිමින් සීරුවට ක්ෂේත්‍රය තුළ ගමනක් යන රංගන ශිල්පියෙක්. ගීතා කාන්ති ජයකොඩි කියන්නෙ මගේ ලොකු අම්මා. මගේ අම්මා මුදිතා ජයකොඩි. මගේ මව් පාර්ශ්වයෙන් තමයි මම කලා පවුලකට සම්බන්ධ වෙන්නේ. පවුල තුළ තිබ්බ කලා ආභාෂය එක්ක මමත් කලාවට බොහෝ සෙයින් ආදරය කළා. මටත් පොඩි කාලේ ඉඳන් නළුවෙක් වෙන්න ඕනකම තිබ්බා. මම ඉගෙන ගත්තේ මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙන් සහ බෝමිරිය ජාතික පාසලෙන්. පාසල් වේදිකාවෙදි තමයි මම මුලින්ම මගේ හැකියාවන් පෙන්නුවේ. මුලින්ම කලා ක්ෂේත්‍රයට එකතු වෙන්නෙ හඬකැවීම් ශිල්පියෙක් විදිහට . ලොකු අම්මා තමයි මාව ජාතික රූපවාහිනියේ වජීරා කුමාරි අක්කාට හඳුන්වා දුන්නේ. ‍යශ් අද ටෙලි නිර්මාණවල ප්‍රධාන භූමිකාවට පණ පොවන රංගන ශිල්පියෙක්. නමුත් ඔහුගේ පටන් ගැන්ම හිතන තරම් සුන්දර පටන් ගැන්මක් වුණේ නැහැ. නළු උණ හැබෑ කරගන්න කට්ට කාපූ අතීතයකුත් යශ්ට තිබුණා. මම කලා පවුලක කෙනෙක් නිසා රංගනයට එන්න පහසු වෙන්න ඇති කියලා සමහරු හිතන්නේ. නමුත් මම ආවේ එහෙම පහසු ගමනක් නෙමෙයි. ලොකු අම්මා සහ මගේ පවුලේ කලාවට සම්බන්ධ හැමෝම කට්ටක් කාලා මේ ක්ෂේත්‍රයේ රැඳුණේ. අපි උඩින් පාත් වෙනවා වගේ කලාවට එනවට ලොකු අම්මා වුණත් කැමැති වුණේ නැහැ. ලොකු අම්මා කලා ක්ෂේත්‍රයේ අමාරුවෙන් තමන්ගේ තැන හදාගත්ත කෙනෙක්. මගේ පවුලේ කෙනෙක් වැඩවලට ගන්න කියලා ලොකු අම්මා කාටවත් කිව්වේ නැහැ. ලොකු අම්මා මාවයි අයියවයි ධනුෂ්ක එම් පෙරේරා අයියට හඳුන්වලා දුන්නෙත් මේ අපේ ළමයි දෙන්නෙක් හොඳයිද බලන්න කියලා විතරයි. බොහෝ දෙනා තමන්ගේ ගමන පහසු කරගන්න උත්සාහ කරද්දි යශ් අපහසු ගමනක් පසුකරමින් තමන්ගේ හීනයට ගමන් කරන්න උත්සාහ දැරුවා. ඔහු අද ගොඩනගා ගෙන තිබෙන පසුබිම ඔහුගේම මහන්සියේ, කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි ඔහු දකින්නේ. මගේ ගමන පහසු වුණේ නැහැ කියලා හෝ මට නමක්වත් නැති චරිත කරන්න ලැබුණා කියලා මගේ ගමන් මග නැවැත්තුවේ නැහැ. අපහසු තැන්වලත් මම අල්ලගෙන හිටියා. ක්ෂේත්‍රය තුළ මේ වෙනකොට ලොකු තරගකාරිත්වයක් තියෙනවා. තමන්ගේ ස්ථාවරය ආරක්ෂා කරගන්න පහසු නැහැ. කට්ටක් කාලා තමන්ගේ හැකියාව පෙන්නලා තැන රැකගන්න සිද්ධ වෙනවා. හැමෝම දකින්නේ රංගනයේ සුන්දර පැත්ත විතරයි. අපි වැඩක් කරන්න ලොකු කැපවීමක් කරනව. ගීතා කාන්ති, පබෝධා සංදීපනි, බිමල් වගේ තමන්ගේ පවුලෙන් කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ඨ වෙලා සාර්ථක ගමනක් යන පිරිසක් හිඳිද්දි යශ්ට තමන්ගේ ගමන අසාර්ථක කරගන්නත් හැකියාවක් නැහැ. තමන්ගෙ තැන වගේම පවුලේ තරු වටිනාකමත් යශ්ට රකින්න සිද්ධ වෙනවා. මට රංගනයේ හොඳ ගමනක් යන්න සිද්ධ වෙනවා. මම මගේ පැවැත්ම හරියට හදාගත්තේ නැත්නම් එය මගේ ඉහළ පුරුක්වලට කරන අසාධාරණයක්. ඔවුන් මේ ක්ෂේත්‍රයේ හොඳ ස්ථාවරයක ඉන්නවා. මටත් ඔවුන්ට වගේ හොඳ ස්ථාවරයක් හදාගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තියෙනවා. මම රංගනයට තියෙන ආදරය එක්ක මේ ගමන ආවේ. ඉදිරියටත් රංගනයට තියෙන ආදරය එක්ක හිමින් ගමනක් යනවා. මම හදිසියකින් මේ ගමන යන කෙනෙක් නෙමෙයි. හිමින් යන ගමන සාර්ථකයි කියලා මම හිතනවා. තමන්ගේ ස්ථාවරය හදාගන්න කැපවෙන යශ් මේ දවස්වල BRO ටෙලි නිර්මාණයෙන් මුණගැහෙන්නෙත් නාහෙට නාහන චරිතයකින්. යශ් පුංචි තිරයේ ජීවත්වෙන කේසරගේ රංගන හැඩතලයටත් අපූරුවට මුහුවෙලයි ඉන්නේ. ඩිලාන් වික්‍රමතිලක අධ්‍යක්ෂණය කරන BRO ටෙලි නිර්මාණයේ කේසරගේ චරිතයෙන් තමයි මම මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. ඩිලාන් එක්ක මම මීට කලින් වැඩ කරලා තියෙනවා. මම සම්බන්ධ වුණ නිර්මාණ කිහිපයකම සංස්කාරකවරයා වුණේ ඩිලාන්. ඔහුගේ පළමු අධ්‍යක්ෂණය වුණ මේ නිර්මාණයත් වෙනස් වැඩක්. ඔහු ගැන හොඳ විශ්වාසයක් තියෙන නිසා මම ඒ ආරාධනාව කැමැත්තෙන්ම භාර ගත්තා. මගේ වාසනාවට මට එකකට එකක් වෙනස් චරිත කරන්න ලැබුණා. කේසරගේ චරිතයත් මාව වෙනස් කරපු චරිතයක්. කේසර කියන්නෙ වැරැද්ද අසාධාරණයට විරුද්ධ චරිතයක්. දරුණු චරිතයක්. පිටතින් ඔහුව අනෙක් අයට පේන්නේ දරුණු මනුස්සයෙක් විදිහට වුණත් ඔහු ඇත්තටම ජීවිතේ තනිවුණ කෙනෙක්. එකකට එකක් වෙනස් චරිත තුළ ජීවත්වෙන යශ් පෞද්ගලික ජීවිතේ කොහොම කෙනෙක් වෙන්න ඇතිද. ඔහු ඒ ගැනත් කිව්වේ මෙහෙම කතාවක්. අපි රඟපාන චරිතවල යම් යම් කොටස් අපේ ඇත්ත ජීවිතෙත් තියෙන්න පුළුවන්. මම මගේ ජිවිතේ සතුටින් ජොලියේ ඉන්න උත්සාහ කරන කෙනෙක්. මගේ ජිවිතේ සීරියස් ලක්ෂණත් තියෙනවා. මම කේසර තරම් දරුණු නැහැ. හැබැයි අවස්ථානුකූලව ඒක වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් කාටහරි උදව්වක් කරන්න තියෙනවා නම් ඒකත් කරගෙන පාඩුවේ ජීවත්වෙන කෙනෙක් මම. යශ් පුංචි තිරයට සේම සිනමාවටත් ඇලුම් කරන රංගන ශිල්පියෙක්. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ විජයබා කොල්ලය චිත්‍රපටයෙත් අපිට ඔහුගේ රංගනය දකින්න ලැබුණා. ලබන වසරෙදි තිරගත වෙන්න නියමිත සරත් වීරසේකරයන් අධ්‍යක්ෂණය කරන ශ්‍රී සිද්ධා චිත්‍රපටයෙනුත් යශ්ගෙ රංගනය දකින්න ලැබේවි කියලයි යශ් කිව්වේ. මේ වෙනකොට තරුණියන්ගේ ආකර්ෂණය දිනාගෙන ඉන්න යශ් සැබෑ ජීවිතයේ පෙම්වතෙක්ද කියලත් හංගන්නේ නැතුව කියන්න කියලා අපි යශ්ට කිව්වා. මම පෙම්වතෙක් නෙමෙයි. බොරුවක් නෙමෙයි ඒක. බොරු කිව්වොත් මාට්ටු වෙනවනෙ. දැනට මම නිදහසේ ඉන්නවා. මගේ වැඩ කටයුතුවලට අවධානය දෙන්න ඒක පහසුයි. තමන්ගේ ගමනේ පහසුව වෙනුවෙන් යශ් තනිකඩව ඉන්න රහස කිව්වෙත් ඔන්න ඔය විදිහට. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..