brand logo

මාව අසාමාන්‍ය විදියට දකිනවා කියන්නේ අමුතුයි වගේ

20 November 2020

අද හැඩවැඩ කතාබහට අපි සම්බන්ධ කර ගත්තේ වෙනස් හැඩයක් තියෙන, පාටක් තියෙන වෙනස් ගමනක් යන්නට උත්සහ කරන තාරුණ්‍යයේ පසුවන රන්දිකව. ඔහු මේ දිනවල නම් අපිට දකින්න ලැබෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ සහ වෙළඳ දැන්වීම් තුළින්. කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ? 2010 -2016 කාලයේ මම ඉතාලියේ හිටියේ. එහෙ ඉන්න කාලේ ඉඳන් යාළුවො එක්ක නිරූපණ කටයුතු කළා. ඊට පස්සේ 2014 දී ඉතාලියේදී රිය අනතුරකට ලක්වුණා. ඒ නිසා 2016 දී ලංකාවට ආවා. ලංකාවට ආවට පස්සේ මුලින්ම ෆැෂන් ඩිසයිනර් මිර්සාන් අබ්බාස් මට කතා කළා රන්දි වැඩක් තියෙනවා කරමු කියලා. ඊටත් පස්සේ තමා සමීර වීරසිංහ මගේ ගැන අනුකට කියලා ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකකට අවස්ථාව ලැබෙන්නේ. ඊටත් පස්සේ ඩිලන් අයියා මාව වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ කර ගත්තා. මේ වෙද්දී වෙළඳ දැන්වීම් 20කට වඩා කරලා තියෙනවා. රඟපාන්න ආරාධනා නැද්ද? ආරාධනා නම් බොහොමයක් තියෙනවා. නමුත් මට ගැළපෙන චරිත නොලැබීමක් විතරයි තියෙන්නේ. මොකද මම මල් චරිත රඟපාන්න කැමති කෙනෙක් නෙවෙයි. මම කැමැති මගේ බාහිර ස්වරූපයට වඩාත් ගැළපෙන චරිතවලට. උදාහරණයක් විදියට මෑතක විකාශය වූ කූඹියෝ වගේ නාට්‍යයක් නම් රැකියාවෙන් අස්වෙලා හරි යනවා. රන්දිකට තියෙන්නේ කළු හමක්, කොහොමද හමේ පැහැයට තියෙන තැන, හමේ පාට තමා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද මේ වෙද්දී ලංකාවේ ගොඩක් අය හිතන්නේ සුදු පැහැය තමා නියම පාට කියලා. කළු පැහැය පේන්නේ නැහැ කියලා. සමහර අය මට කියලත් තියෙනවා. මේ ක්ෂේත්‍රයේ දුර ගමනක් යන්න හිතන් ඉන්නවා නම් සුදු වෙන්න තියෙන ඉන්ජෙක්ෂන් එක හරි ගන්න කියලා. මම ගොඩක් දවස් ඉඳන් ඇප්ලයි කරනවා ෆැෂන් වීක් වගේ එකකට. ඒත් මට මේ වෙනකම් ඔඩිෂන් එකකටවත් කතා කරලා නැහැ. මම ඒ ගැන හොයලා බැලුවා. කෙනෙක්ගේ නමක් කිව්වා එයාගේ පන්තියට යන්න එතකොට ඔඩිෂන් එකට යන්න පුළුවන් කියලා. ඔබ නොකියා කියන්නේ අලුත් කෙනෙක්ට කැපිලි වැඩියි කියලද? අනිවාර්යයෙන්ම, අලුත් කෙනෙක්ට එන්න අමාරුයි. දැන් මම කොහේවත් පන්ති ගිහින් නැහැ. මගෙන් ගොඩක් අය අහනවා කොහෙන්ද මේ දේවල් ඉගෙන ගත්තේ කියලා. එතකොට ඉස්සර විජය කුමාරතුංග මහත්තයා ගාමිණී ෆොන්සේකා මහත්තයා පන්ති ගිහින්ද මේ ක්ෂේත්‍රයට ආවේ. එහෙම නෙවෙයි එදිනෙදා ජිවිතේ අත්දැකීම් එක්ක ලබන පන්නරය එක්ක ඒ අය ඒ ගමන හදා ගත්තේ. එහෙම නැතුව පන්ති යන්නම ඕනේ කියන තැන මම නැහැ. රන්දික දැන් ටැටූ කීයක් තියෙනවද? අම්මෝ ගොඩක් තියෙනවා. තව ටැටූ ගහන්නත් තියෙනවා. ඇයි ඔච්චර ටැටූවලට කැමැති? ගොඩක් අය කියන්නේ ඇයි අනේ ඔච්චර ටැටූ කරන්නේ රිදෙනවනේ කියලා. ඔව් රිදෙනවා තමා. හැබැයි ජිවිතේ මට ඊට වඩා රිදිලා තියෙනවා. මේ හැමදේකම තේරුමකුත් තියෙනවා. අනිත් අතට මම ආසයි ටැටූ මොඩල් කෙනෙක් වෙන්න. සමහරවිට මම මැරෙන කොට මුළු ඇඟේම ටැටූ තියෙන්න පුළුවන්. ලංකාව තුළ සමහර දේ වලින් ප්‍රතික්ෂේප වෙන්නත් ටැටූ හේතුවක් වෙලා තියෙනවා. සමහර වැඩවලදී මගේ ටැටූ කවර් කරලත් තියෙනවා. ලංකාවේ බොහෝ නිර්මාණ හැදෙන්නේ රජ කතා එක්කනේ. ඒ නිසා රජෙක් වෙන්න බෑ. පාතාලයට තමා මට යන්න වෙන්නේ. ඒ වගේම රන්දික ශරීරයේ හැඩය පවත්වාගන්න ලොකු කැපකිරීමක් කරනවා වගේ? ජිම් එක කියන්නේ මගේ ජීවිතය වගේ. මම මොන දේ කළත් ජිම් එකට කාලය වෙන් කර ගන්නවා. මට මතකයි 2014 මම අනතුරට ලක් වුණාට පස්සෙත් පුළුවන් වුණ ගමන් ගියේ ජිම් එකට. ගොඩක් අය හිනාවුණා මූට පිස්සු කියලා. හැබැයි ඒ අයම අද මම ඉන්න තත්ත්වය දැකලා කොහොමද මේ තරම් දුරක් ආවේ කියලා අහද්දී දැනෙන සතුට වචන වලින් කියන්න බෑ. උත්සහ නොකළොත් කිසි දෙයක් ජීවිතේට ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි වගේ සාමාන්‍ය පවුල් වල අයට. රන්දික විවාහකයිනේ, එයා කැමැතිද රන්දික රඟපානවට? ඔව් මම විවාහකයි, මාස දෙකහාමාරක පොඩි බබෙක් ඉන්නවා. වයිෆ්ගේ කැමැත්ත තියෙනවා. මොකද එයාට තේරෙනවනේ මම අදාළ වැඩේ කරලා එනවා. එතනින් එහාට කිසි ගණුදෙනුවක් නැහැ කියලා. ඒ නිසා එයා තේරුම් අරන් තියෙන්නේ. නිරූපණ පැත්තෙන් පැජන්ට්වලට ඉදිරිපත් වෙන්න අදහසක් නැද්ද? මම 2017දී තමා වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට එන්නේ. ඒ දවස්වල මට පැජන්ට් සංවිධානය කරන කෙනෙක් කතා කරලා කිව්වා, ඔයා එන්න මම ඔයාට පැජන්ට් එකේ ජයග්‍රහණය දෙන්නම් කියලා. ඉතින් මම බැලුවා එහෙම නම් මේ පැජන්ට් තියෙන්නේ සහභාගී වෙන එක තේරුමක් නැහැනේ කියලා. මොකද පැජන්ට් එකක් දිනන්න ආසාවෙන්නේ ඔක්කොම අය ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒ අයට මම කරන්නේ ලොකු අසාධාරණයක් නිසා මම ප්‍රතික්ෂේප කළා. ජීවිතේ අමතක නොවන අත්දැකීම් ඇති? මේ කලා කටයුතුවල නම් එහෙම අමතක නොවන අත්දැකීම් නැහැ. මගේ හොඳම යාළුවා මීට වසර දෙකකට කලින් නැතිවුණා. ඒක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ වගේම 2014 දී ඉතාලියේදී සිදුවූ රිය අනතුරත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ අනතුරෙන් මගේ කකුලට ලොකු හානියක් වුණ නිසා තමා මම ලංකාවට ආවේ. මොකද එහෙ තනියම හිටපු නිසා. නැත්නම් තවමත් මම ඉතාලියේ. ඉතාලියෙන් ආව එක හොඳක් ද? මෙහෙමයි, තනිකඩ කාලේ ඉතාලියේ හිටියේ. තමන්ගේ කියලා කවුරුත් නැහැ. දැන් එහෙම නෙවෙයි. ගෙදර අය ඉන්නවා. මගේ පවුලේ අය එක්ක එකට ඉන්න ලැබෙනවා. ඉතාලියේ නිදහස තියෙනවා. ඒ අතින් මෙහෙ වගකීම් වැඩියි හැබැයි රැකවරණයක් තියෙනවා. ඒ නිසා දැන්නම් නිකම් එන්න කිව්වත් ඉතාලි යන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩකයින් ගොඩක් යාළුවෝ නේද? ඔව්, මම ආස කළේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න. මම ඉතාලියේදී පවා ක්‍රිකට් ක්‍රීඩාව කළා. ආසාව තිබ්බට ඒක එහෙම වුණේ නැහැ. දෛවයේ සරදම් තියෙනවනේ. කේන්දරේ විශ්වාස කරනවද? නැහැ. මහන්සි වුණොත් විතරයි කන්න හම්බකරගන්න පුළුවන් කියන තැන මම ඉන්නේ. අනාගත ඉලක්කය? ජනප්‍රිය වෙන්න ඕනේ කියන තැන මම නැහැ. හොඳම කියන තැනට එන්න මම කැමතියි. ජනප්‍රියවීම කරදරයක් කියලද හිතන්නේ? මම සාමාන්‍ය පවුලක කෙනෙක්. එතකොට මාව අසාමාන්‍ය විදියට දකිනවා කියන්නේ අමුතුයි වගේ. උස මහත නිසා බැලුවට කමක් නැහැ. ඒ නිසා ජනප්‍රිය වීමට වඩා හොඳම වෙන්න තමා කැමති. එහෙම වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා. නමුත් තවම මට හරිම අවස්ථාවක් ලැබුණේ නැහැ කියන තැණ මම ඉන්නවා. • අනුෂා රණසිංහ
 

More News..