brand logo

මාවනැල්ලේ බුදු පිළිම කැඩුවේ මුස්ලිම් අන්තවාදීන්ද?

02 January 2021

මාවනැල්ල යළිත් රටේම කතාබහට ලක්වන්නේ වසර දෙකකට පසුවය. ඒ මාවනැල්ලේ ගල්කොරියකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් අතුරුදන් වීම හා මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධියත් සමග යළිත් මාවනැල්ල උණුසුම් වීමෙනි. මීට පෙර අවස්ථාවේ සහරාන්ගේ කල්ලියට සම්බන්ධකම් පැවැත් වූ මාවනැල්ලේ හිඟුල පදිංචි අයිය- ම​ලෝ දෙදෙ​ෙනක් වූ මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ්, මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් යන අන්තවාදී නායකයන් දෙදෙනා මාවනැල්ලේ මේ අයුරින්ම බුදු පිළිම විනාශ කළහ. අන්තවාදී ඇදහීම්වල එල්බ සිටි මොවුහු එදා දින හතරක් තුළ මාවනැල්ලේ බුදු පිළිම හතරකට අලාභහානි කළහ. හිඟුල මංසන්ධිය, දිදුලවත්ත ප්‍රජා ශාලාව, මහන්තේගම මිරිස්කුඩු හන්දිය, රන්දිවෙල මංසන්ධිය යන තැන් හතරක බුදු පිළිම කඩා දැමූහ. මේ ප්‍රහාර සඳහා ඔවුහු තෝරාගත්තේ දෙසැම්බර් අවසන් සතියයි. දෙසැම්බර් 22දා සිට 26දා දක්වා කාලය තුළ මේ අන්තවාදී අයියා මලෝ එදා මේ පිළිම හතර කඩා දැමූහ. මෙවර මාවනැල්ලේ බුදු පිළිම සඳහා ප්‍රහාර එල්ලවූයේද දෙසැම්බර් අවසන් සතියේය. කොළඹ-නුවර ප්‍රධාන මාර්ගය අසල හිඟුල මංසන්ධියේ ඇති බුදු පිළිමයක් හා අලුත්නුවර මාර්ගයේ පිළිමයකට මෙවර ප්‍රහාරය එල්ල විය. ඒ ඉකුත් 26දාත් 28දාත් අතර කාල සීමාවේදීය. එම පිළිමවල ආරක්ෂාවට සවිකර තිබූ වීදුරුවලට එහිදී හානි කර තිබුණි. මෙහි විශේෂත්වය වූයේ මේ ප්‍රහාරයට ලක්වූ පිළිම දෙකෙන් එකක් මීට වසර දෙකකට පෙර අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්වූ එකක්ම වීමය. අනෙක් විශේෂත්වය වූයේ ප්‍රහාරකයන් දෙසැම්බර් අවසන් සතියම මෙවරද ප්‍රහාරයට තෝරාගැනීමය. මේ අනුව මෙය සංවිධානාත්මකව කළ දෙයක් බවට ආරක්ෂක අංශ සැක පහළ කරති. එම සිද්ධියට දින කිහිපයකට පෙර මාවනැල්ල, මොල්ලිගොඩ පිහිටි දුනේකන්ද, ගල්කොරියේ පුපුරන ද්‍රව්‍යද අතුරුදන්ව තිබිණි. එහි වූ ඇමෝනියම් නයිට්‍රේට් කිලෝග්‍රෑම් 15ක්, ඩෙටනේටර් 20ක්, වෝටර් ජෙල් ග්‍රෑම් 750ක්, වෙඩි බෙහෙත් නූල් මීටර් 35ක් අතුරුදන්ව ඇතැයි මාවනැල්ල පොලිසියට පැමිණිල්ල ලැබන්නේ දෙසැම්බර් 23දාය. පැමිණිල්ල කරන්නේ ගල්වළ පවත්වාගෙන යන වත්මන් හිමිකරුය. අක්කර අටක් පුරා පිහිටි මෙහි අයිතිය ඇත්තේ ගල්වළ පවත්වාගෙන යන්නාගේ විදෙස්ගතව සිටින මිතුරාටය. මෙහි වූ පුපුරන ද්‍රව්‍යවල ඇමෝනියා නයිට්‍රේට්ද තිබුණි. පාස්කු ඉරිදා ප්‍රහාරයට සහරාන් ඇතුළු කණ්ඩායම භාවිත කළේද ඇමෝනියා නයිට්‍රේට්ය. පරණ සිද්ධීන්වලින් පාඩම් ඉගෙන ගෙන සිටි ආරක්ෂක අංශ වහාම පැති කිහිපයකින් පරීක්ෂණ ඇරඹූහ. පොලිස්පති චන්දන වික්‍රමරත්න මෙම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කළෙය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ විසින් මෙම පරීක්ෂණ සඳහාද පාස්කු ප්‍රහාරය විමර්ශන කළ කණ්ඩායමක් වහාම පිටත් කරන්නේය. එම විමර්ශන කණ්ඩායම් පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් වීම ගැන විමර්ශන කරගෙන යන අතරේ බුදු පිළිමවලට ප්‍රහාර එල්ල විය. ගල්කොරියේ පුපුරන ද්‍රව්‍ය අතුරුදන් වෙද්දී එහි සේවය කර ඉවත් වූ ‘හුළං කරාටේ’ නමැත්තෙක් ගැන සැක පහළ වූයෙන් මාවනැල්ල පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේය. නමුත් මේ සිද්ධියට ඔහුගේ සම්බන්ධයක් නොවූ බව අනාවරණය වූයෙන් විමර්ශන විවිධ පැතිවලට යොමු විය. කෑගල්ල, පිළිමතලාව, කඩුගන්නාව, හිඟුල ප්‍රදේශවල ගල්වළවල් පවත්වාගෙන යන්නන් ගැනද විමර්ශන කණ්ඩායම් අවධානය යොමුකර තිබිණි. ඒ මෙම ප්‍රදේශයේ වෙඩි බෙහෙත් බලපත්‍ර නොමැතිව කළු ගල් කඩන පුද්ගලයන්ද සිටින නිසා ඔවුන්ට වෙඩි බෙහෙත් විකුණා ඇත්දැයි සෙවීමටය. ගල් වළවල් ඇති පුද්ගලයන්ට මෙම පුපුරන ද්‍රව්‍ය විකුණා ඇතිද, නැත්නම් අන්තවාදීන් අතට මේවා පත්වූයේද යන්න සොයා බැලීම විමර්ශන කණ්ඩායම්වල ඉලක්කය විය. ගල්​කොරියේ සේවකයන් ඇතුළු තිස් දෙනකුගෙන් පළමු දින කිහිපයේ ප්‍රශ්න කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් දුරකථන ජාල පරීක්ෂණයක්ද අරඹන්නේ මෙම ප්‍රදේශයේ නිවෙස්වල සීසීටීවී කැමරා සවිකර නැති බැවිනි. විමර්ශන කණ්ඩායම්වලට අමතරව යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය සහ රාජ්‍ය ඔත්තු සේවාවද විමර්ශන ඇරඹූහ. මීට වසර දෙකකට පෙර බුදු පිළිම කැඩූ සිද්ධිය සුළු සිද්ධියක් ලෙස ලඝු කර ගණන් නොගැනීම අන්තිමේදී පාස්කු ප්‍රහාරය දක්වා වන මහා විනාශයකට අන්තවාදීන්ට ඉඩ ලැබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරසිංහ ඇතුළු කණ්ඩායමක් ඊබ්‍රාහිම් සාහිඩ් හා සාදික් යන දෙදෙනා සැඟව සිටි පුත්තලම, වනාතවිල්ලුවේ ලැක්ටෝවත්තේ අන්තවාදීන්ගේ පුපුරන ද්‍රව්‍ය තොගයක්ද සොයා ගත්හ. ඒ 2019 ජනවාරි 16දාය. මාවනැල්ල බුදු පිළිම කැඩූ සිද්ධියේ විමර්ශන ඔස්සේ ගොස් මෙම පුපුරන ද්‍රව්‍ය සොයාගත්හ. මාවනැල්ල බුදු පිළිම කැඩීම සහ වනාතවිල්ලුව අන්තවාදී පුහුණු කඳවුර සොයාගත්තද අයියා මලෝ ප්‍රධාන සැකකරුවෝ දෙදෙනා දේශපාලන බලපෑම් මත අත්අඩංගුවට ගැනීම අසීරු විය. හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, පොලිස්පතිවරයාට කතා කර ප්‍රධාන සැකකරුවන් දෙදෙනා භාර කරන බවට පොරොන්දු වීමෙන් පසුව සිදු වූ ජවනිකා නිසා පාස්කු ප්‍රහාරය අවසන් වී කාලයක් යනතුරුත් මෙම අයිය- මලෝ කොටු කරගත නොහැකි විය. එදා මෙම දෙදෙනාගේ අනතුරු හැඟවීම බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්වූවා නම් පාස්කු ප්‍රහාරය වැනි අමිහිරි මතකයන් මෙරටට අත්විඳින්නට සිදුවන්නේ නැත. මෙවරද එවැනිම ආකාරයේ සිදුවීම් දෙකක් මාවනැල්ලෙන් වාර්තා වී හමාරය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බුද්ධි අංශවලට තවමත් බුදු පිළිම කැඩූ අයෙක් හෝ ඊට හේතු වූ කාරණා ගැන තවමත් හරිහමං තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. එහෙත් ඒ ගැන රජය දැඩි අවධානය යොමුකර ඇත්තේ ගිය වර මෙන් නියපොත්තෙන් කැඩිය යුතුව තිබියදී අන්තිමේදී පොරවත් ඕනෑ වූ ආකාරයට වැඩ සිද්ධ වූ නිසාය. මෙවන් සිද්ධීන් අතරේ අන්තවාදීන්ද යළි විවිධ ආකාරයෙන් හිස එසැවීම් නොකරන්නේ යැයි සහතික වීමට කිසිවකුට නොහැකිය. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මරාගෙන මැරුණේ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙනි. ඒ වෙනුවෙන් ප්‍රභාකරන් මොළ සෝදා භාවිත කළේ අන්ත අසරණ පවුල්වල තරුණ තරුණියන්ය. නමුදු සහරාන්ලා වැනි කණ්ඩායම්වල අන්තවාදීන් ලෙස මරාගෙන මැරෙන්නට එන්නේ කෝටිපති පවුල්වල තරුණයන්ය. ඔවුන් මියැදෙන බව කියන්නේ ආගම වෙනුවෙනි. මේ වනවිට අන්තවාදී කණ්ඩායම් සමග සබඳතා පැවැත්වූවන් මෙන්ම අන්තවාදීන්ගේ පන්තිවලට ගිය අයගේ හැසිරීම් ගැනද බුද්ධි අංශවල අවධානය යොමුව ඇත. පසුගියදා අක්කරෙයිපත්තුවේ සිට ආගම පැතිර වූ වෛද්‍යවරයකු ගැන විශේෂ බුද්ධි වාර්තාවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් විසින් ​පොලිස්පතිවරයාට යොමුකර තිබිණි. ​ ඉන්දියාවේ සිට ක්‍රියාත්මක ‘සුපර් මුස්ලිම්’ නමින් වූ යූටියුබ් චැනලයේ ආගමික රැඩිකල්කරණය කරන දේශන මොහු තරුණයන් අතර ප්‍රචාරය කරන බව හෙළි කරගෙන තිබිණි. මෙම තොරතුරු පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික ආරක්ෂක කවුන්සිලයේදී ද කතාබහට ලක්ව තිබුණි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..