brand logo

මාවනැල්ලේ තස්ලිම්ට වෙඩි තැබුවේ අන්තවාදීන්ද?

25 March 2019

කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් මාවනැල්ල ප්‍රදේශයේ විටින් විට පුවත් මවන ප්‍රදේශයකි. පසුගිය නත්තල් මාසයේ රටම මාවනැල්ල ගැන කතා කරන්නට පටන් ගත්තේ කිසියම් පිරිසක් එහි තැන තැන තිබූ බුදු පිළිම විනාශ කිරීමත් සමගය. ටික දිනකින් එහි උණුසුම මැකී ගියත්, පසුගිය සතියේ ඒ ගැන යළි සිහිපත් කරවන සිදුවීමක් මාවනැල්ලෙන් වාර්තා විය. ඒ, මාවනැල්ල දනාගම ඩී /36/2 ලිපිනයේ පදිංචිව සිටි මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් නම් අයෙකු සාහසික වෙඩි ප්‍රහාරයකට ලක් වීමත් සමගය. තිදරු පියකු වූ රාසික් මොහොමඩ් එළුවන් හා ගවයන් ඇති කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි. එසේම ඔහු කබීර් හෂීම් අමාත්‍යවරයාගේ සම්බන්ධීකාරකයකු ලෙසද කටයුතු කරමින් සිටියේ ය. මාර්තු මස 09 දා අලුයම රාසික්ගේ නිවසේ පසුපස දොරෙන් ඇතුළුවන නාඳුනන තුවක්කුකරුවෙක් නිදා සිටි ඔහුගේ හිසට වෙඩි තබා තිබිණ. හිසට එල්ල වු වෙඩි ප්‍රහාරවලින් බරපතළ තුවාල ලද තස්ලිම් තවමත් සිටින්නේ මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකය තුළය. මොහොමඩ් තස්ලිම් මාවනැල්ල එජාප සංවිධායක අමාත්‍ය කබීරි හෂීම් යටතේ පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ අයෙකි. දනාගම හා අවට ගම්වල දිළිඳු ජනතාවට උදව් උපකාර කිරීමත්, අතුරු මාර්ග සංවර්ධනය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමටත් තස්ලිම් මුල් වූයේය. කුඩු ජාවාරමට එරෙහිවත්, පල්ලියේදී තරුණ ප්‍රජාව දැනුවත් කරන්නට තස්ලිම් කටයුතු කර ඇත්තේ පොලිසියේද සහාය මතය. දනාගම පැත්තේ හෙරොයින් විකුණූ කීප දෙනකු පොලිස් අත්අඩංගුවට ගත් මොහොතේ ඇතැමුන් සැක කළේ තස්ලිම් ගැන බවය. මාවනැල්ලෙන් තොරතුරු විමසා බලද්දී තස්ලිම් ඉලක්ක වන්නට ප්‍රධාන හේතුව මාවනැල්ල බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට එරෙහිව ඔහු තදින්ම සිටීම බව කියයි. තස්ලිම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත සහාය වෙමින් අන්තවාදීන්ගේ කල්ලියෙන් මුස්ලිම් තරුණයන් ගලවා ගන්නා මෙහෙයුමක සිටි බව හෙළි වන්නේය. අන්තවාදී කල්ලිය අල්ලා දෙන්නට තස්ලිම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් සමග පුත්තලමේ වනාතවිල්ලුවට පවා ගොස් සතියක් පමණ රැඳී සිටියේය. වෙඩි ප්‍රහාරයට ලක් වූ මොහොමඩ් තස්ලිම් දනාගම අංක 45/5 නිවසේ සිටියදී බුදුපිළිම කැඩීමේ සිද්ධියට පොලිසිය අල්ලාගත් තජුබුදින් මොහොමඩ් පවුසාන්ට පල්ලියට ගෙන්වා අවවාද කරන්නේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට පෙර සිටය. මොවුන් අන්තවාදී ක්‍රියා සඳහා මෙහෙයවන ඊබ්‍රාහිම් සාදිත් ගැන හෙළිවීමෙන් පසුව පවුසාන්ව ද ගෙන්වා අවවාද කරන්නට තස්ලිම් පෙරමුණ ගත්තේ සංහිඳියාව උදෙසාය. ඊබ්‍රාහිම් සාදිත් හා මොහොමඩ් පවුසාන් යන දෙදෙනාම වෙඩි ප්‍රහාරයට ලක් වූ තස්ලිම්ගේ නිවසට ආ ගිය අවස්ථාවල එහි තොරතුරු බලාගෙන තිබූ නිසා පිටත ස්තරයන් යොදා ප්‍රහාරය මෙහෙය වූ බවට සැකයක් ඇත්තේය. මාලිගාවත්තේ පාතාලයට සම්බන්ධ අපරාධකරුවකු වන තජුබුදින් නමැත්තකු පැමිණ සැඟව සිටි බවට විමර්ශන කණ්ඩායම්වලට තොරතුරු ලැබෙන්නේ මේ අතරේය. මොහු ගැන ලද තොරතුරට විමර්ශන කණ්ඩායම් එහි යන විටත් තජුබුදින් එම නිවසින් පළාගොස් තිබුණේය. අන්තවාදී කණ්ඩායම්වල වුවමනාවට මාලිගාවත්තේ තජුබුදින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළාද යන්න නිශ්චිතව හෙළිකර ගත හැකි වනු ඇත්තේ ඊබ්‍රාහිම් සාදිත් අල්ලා ගැනීමෙන් පසුවය. බුදුපිළිම කැඩීමට මුල් වූ අන්තවාදී කල්ලියේ නායකයකු බව කියන ඊබ්‍රාහිම් සාදිත් හා ඔහුගේ සොහොයුරා වන ඊබ්‍රාහිම් සාහිත් තවමත් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත. මේ දෙසොහොයුරන් සමග ඔවුන්ගේ පියාවන මොහොමඩ් ඊබ්‍රාහිම්ද අතුරුදන්ව සිටි නමුත් පසුව අත්අඩංගුවට ගැනුණේය. මවුලවිවරයකු බව කියන මේ පුද්ගලයා ගම්පොළ ප්‍රදේශයේ සැඟව සිටින බව අනාවරණය වීමෙන් පසු පොලිසිය ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රකාශයක් ලබා ගැනීමට යැයි කියා ගෙන්වා ගනිමිනි. ප්‍රධාන සැකකරුවන්ගේ නිවාස පරීක්ෂා කිරීමේදී හමු වූ නාම ලේඛනයකට අනුව පසුගිය ජනවාරි 24 දා තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනිණ. මොහොමඩ් අස්ලාම් ආගීල් අහමඩ් නමැති මේ සැකකරුද පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක් වූ මොහොමඩ් තස්ලිම්ගේ ගම් ප්‍රදේශය වන මාවනැල්ල දනාගම පදිංචිකරුවෙකි. ඊබ්‍රාහිම් සාහිත් හා ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්හක් යන අයිය, මලෝ දෙදෙනා සොයා දුරකථන ජාල පරීක්ෂණ ඔස්සේ කළ විමර්ශන හා බුද්ධි තොරතුරුවලින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුත්තලම බලා යන්නේ පසුගිය ජනවාරි 16 දාය. ඒ වෙඩි ප්‍රහාරයට ලක් වූ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලිම් ද සමගය. එහිදී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් සිව්දෙනකුද එහිදී අත්අඩංගුවට ගත් නමුත් මේ අන්තවාදී කල්ලියේ මහ මොළකරුවන් තවමත් නිදැල්ලේය. ඊබ්‍රාහිම් සාහිත් සහ ඊබ්‍රාහිම් සාදිත් දෙසොහොයුරන්ගේ පියාවන අත්අඩංගුවට ගෙන සිටින මොහොමඩ් ඊබ්‍රාහිම් යන අයගේ සහාය ද ඔවුන්ට ලැබී ඇති බව කියතත් අලුත්ම බුද්ධි වාර්තා සඳහන් කරන්නේ මේ සියල්ලටම ඉහළින් අයකු සිටින බවය. දැන් සොයාගත යුතුව ඇත්තේ මේ පුද්ගලයා කව්දැයි යන්නය. ඔහු සොයා ගැනීම මේ අන්තවාදී කල්ලිය ගැන සැබෑ තොරතුරු සොයා ගන්නට සේම ඔවුන්ගේ ක්‍රියාකාරකම් නවත්වා ගන්නටද හේතුවක් වනු ඇත. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..