brand logo

මාලි මෙහෙයුම

02 February 2019

මිහිමත පිහිටි උෂ්ණාධිකම ස්ථානයක් වන මාලි රාජ්‍යය ගැන මෙරට බොහෝ දෙනකු කතා කරන්නට පටන් ගන්නේ පසුගිය වසරේය. ඒ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ගිය ශ්‍රී ලංකා හමුදා භට කණ්ඩායමේ නිලධාරියකුට යුද අපරාධ චෝදනා එල්ල වීමත් සමගය. මාලි රාජ්‍යය බලා ගිය ශ්‍රී ලංකා හමුදා භට කණ්ඩායම භාරව ගිය දක්ෂ නිලධාරියකු වූ කර්නල් කලණ අමුණුපුර යුද අපරාධ චෝදනා මත හරවා එවන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගත් අතර ඉන් ටික දිනකට පසු සියලු දෙනාට ඒ සිද්ධියත් - මාලි රාජ්‍යයත් අමතකව ගියේ ය. එහෙත් මාලි රාජ්‍යය ගැන යළි සිහිපත් වූයේ අණදෙන නිලධාරි කලණ අමුණුපුර නොමැතිව එහි සිටි ශ්‍රී ලංකා භට කණ්ඩායමේ දෙදෙනකු ත්‍රස්ත ප්‍රහාරයකින් මිය යෑමත් සමගය. පසුගිය ජනවාරි 25 දා එරට සිටි ශ්‍රී ලංකා භට පිරිස ගමන් ගත් WMZ රථය බිම් බෝම්බයකට හසුවීමෙන් කපිතාන් දිනේෂ් ජයවික්‍රම හා කෝප්‍රල් සමන්ත විජේකුමාර මිය ගිය අතර කෝප්‍රල් කේ. සී. කුමාර, ලාන්ස් කෝප්‍රල් සී. එම්. එස්. චන්ද්‍රසේකර යන අය තුවාල ලැබූහ. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් වර්ගීකරණයේ දී ජීවිත අවදානම් සහිත අති බිහිසුණුම සාම සාධක මෙහෙයුම ලෙස හඳුන්වන්නේ මාලි රාජ්‍යයේ මෙහෙයුමය. මෙම මෙහෙයුමේ ඇති බිහිසුණුකම නිසාම බංගලිදේශය ඇතුළු රටවල් ගණනාවක් එරට සාම සාධක කටයුතු සඳහා යාම ප්‍රතික්ෂේප කරන්නේය. ඒ ත්‍රස්ත ප්‍රහාර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා ඒ වන විටත් එකසිය ගණනක් වූ සාම සාධක භටයන් ජීවිත පූජා කිරීම නිසාය. මෙම සතියේ එම මියගිය ලැයිස්තුවට ශ්‍රී ලංකා යුද හමුදාවේ කපිතාන් ජයවික්‍රම හා කෝප්‍රල් සමන්තගේ නම් ඇතුළත් වෙද්දී ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සාම සාධක භටයන් ගණන 179 දක්වා ඉහළ ගියේ ය. ප්‍රංශ යටත් විජිතයක්ව පැවති මාලි රාජ්‍යයේ උතුරු කලාපයේ සිටි රජයේ හමුදාවන් පලවා හරිමින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් විසින් බලය අල්ලාගෙන තිබුණේය. මෙම සන්නද්ධ අරගලය නිසා රටේ ජනගහනයෙන් මිලියන 14.5 ක වැසියන්ගෙන් බහුතරයක් දකුණු පළාතට සංක්‍රමණය වූහ. උතුරු කලාපයේ බලය ඇල්ලූ කැරලිකරුවන් මර්දනය සඳහා මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් ඇරඹෙන්නේ 2013 පටන්ය. මාලි දේශයට යෑමේ වරප්‍රසාදය අපට හිමිවන්නේ යුද්ධයේ අත්දැකීම් බහුල හමුදාවක් සිටි නිසාය. බංගලිදේශය, ඊජිප්තුව ඇතුළු රටවල් මාලි දේශයේ මෙහෙයුම් ප්‍රතික්ෂේප කරද්දී ශ්‍රී ලංකාවෙන් බළඇණියක් යැවීමට අවස්ථාව උදාකරගන්නට යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක ගත් උත්සාහය මල්පල ගැන්වුණේය. මේ සඳහා කර්නල් සාමන්ත වික්‍රමසේන ඇතුළු හයසිය පනහක බළඇණියක් සූදානම් කළ නමුත් ඉන් අනුමත වන්නේ පනස් දෙනකුගේ නම් පමණකි. ඉතිරි නම් කැපී ගොස් තිබුණි. ඒ සියලු දෙනා මෙරට ක්‍රියාන්විතයන්ට දායක වූ අය වීම නිසාය. අවසානයේ ලුතිනන් කර්නල් කලණ අමුණුපුරගේ අණදීම යටතේ දෙසීයක භට කණ්ඩායමක් 2017 දෙසැම්බර් 24 දා මාලි බලා පිටත්ව ගියහ. මේජර් හසන්ත හැන්නදිගේ එම කණ්ඩායමේ දෙවැනි අණදෙන්නා වූ අතර නිලධාරින් දහසයක් සහ සෙසු නිලයන් 184 ක් එහි ගියහ. රෙජිමේන්තු දහයකට අයත් භට පිරිස් එහි ගිය අතර WM2 හා BTR වර්ගයේ සන්නද්ධ රථ විස්සක් සමග ජංගම රෝහල් පහසුකම් සහිත යුනිකෝන් බෆල් රථ ඇතුළු බරවාහන ද රැගෙන ගොස් තිබුණේය.
 

More News..