brand logo

‘‘මාලි’’ ගෙනියන්න ගෙනා කෝටි 36ක වාහන පනාගොඩ කඳවුරේ මළකඩ කයි

20 April 2019

කොළඹ වරායේවත් නොමැති, එකක් රුපියල් කෝටි හයක් බැගින් වටිනා ඉන්දියාවෙන් ආනයනය කළ කන්ටේනර් ඔසවන රථ (Contrainer Lifter) තුනක් පනාගොඩ යුද හමුදා කඳවුරේ අවුරුද්දක් තිස්සේ පැත්තකට දමා තිබෙන බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් අනාවරණය කළේය. මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සඳහා යන හමුදා බලඇණියක් සඳහා රුපියල් බිලියන 600ක හමුදා උපකරණ හා වාහන මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලද අතර ඒ යටතේ මිලදී ගත් වාහන තුනක් මාලි රාජ්‍යයට යැවීමට නොහැකිව පනාගොඩ කඳවුරේ මෙසේ ගාල් කර තිබෙන බව හෙළිවී ඇත. මානව හිමිකම් කොමිසම මගින් මාලි රාජ්‍යයට යන බලඇණියට අදාළ නිෂ්කාෂණ වාර්තා ලබාදීමේ ප්‍රමාදය හේතුවෙන් හත්සිය පනහක බලඇණියක් වෙනුවට එහි යැවීමට හැකි වූයේ දෙසීයක පමණ කණ්ඩායමක් (Company) පමණි. මේ හේතුවෙන් තවම මාලි රාජ්‍යයට යවා ඇත්තේ මිලදීගත් කන්ටේනර් ඔසවන එක් රථයක් පමණි. දැනට ඇති තත්ත්වය මත මෙම දෙසැම්බරයට පෙර මීළඟ බලඇණිය පිටත් කර යැවීමට අපොහොසත් වුවහොත් රුපියල් බිලියන ගණනක් වටිනා මෙම වාහන යළි මුදල් වියදම් කර ගෙන මෙරටට ගෙන ඒමට සිදුවන බව ආරක්ෂක ප්‍රධානීහු පෙන්වා දෙති. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..