brand logo

මාලිංග කඩුළු 7යි - ගාල්ල ලකුණු 156කින් ජයගනී

04 April 2019

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ නුවර කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 156 කින් ජය ගැනීමට ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් මහනුවර කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව පළමු පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවි ලකුණු 255ක් රැස්කර ගත්තේය. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 65ක් ලබාගැනීමට සමත් විය. ඊට හයේ පහරක් සහ හතරේ පහර 3ක් ද ඇතුළත් වේ. සදුන් වීරක්කොඩි ලකුණු හතරේ පහර 9ක් සමග ලකුණු 56ක් ලබාගත්තේය. පන්දු යැවිමේදී නුවර කණ්ඩායමේ කසුන් රජිත සහ ජෙෆ්රි වැන්ඩසී කඩුළු 3 බැගින් දවාගත්තේය. ලකුණු 256ක අභියෝගය භාරගනිමින් පල්ලේකැළේ පිටියට පැමිණි මහනුවර කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 99ක් පමණීයි. මහනුවර කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 35ක් ලබාගත්තේය. පන්දු යැවීමේදී ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුළු 7ක් දවා ගැනීමට සමත් විය. දුෂ්‍යමන්ත චමීර කඩුළු 3 ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව ගාල්ල කණ්ඩායම සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින තරගාවලියේ පළමු ජය අද දිනයේ ප්‍රථමයෙන් වාර්තා කළේය.  
 

More News..