brand logo

මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවොත් මහ ඡන්දය අප්‍රේල් 25, 28 ආසන්නයේදී

05 December 2019

ජනාධිපතිවරයා ලබන වසරේ (2020) මාර්තු මස 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් එම වසරේ අප්‍රේල් මස 25, 27 හෝ 28 යන දිනවල මහා මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ඊයේ (04 වැනිදා) දන්වා සිටියේය. මේ අතර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු තැන්පත් කළයුතු ඇප මුදල වැඩි කළහොත් සුළු දේශපාලන පක්ෂවලට මහත් අසාධාරණයක් සිදුවන බවට එම දේශපාලන පක්ෂ නියෝජිතවරු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට දැනුම් දුන්හ. ජනාධිපතිවරණයට පසු දේශපාලන පක්ෂ ලේකම්වරුන්,මැතිවරණ නිරීක්ෂකයන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී ඊයේ (04 වැනිදා) පැවැත්වුණි. එම සාකච්ඡාව පැය දෙකකට වැඩි කාලයක් පැවතියේය. ජනාධිපතිවරණ සමයේ මාධ්‍ය භාවිතය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී දැඩි කතාබහට ලක්ව ඇත. ඉදිරි මහා මැතිවරණයේදී එක් දේශපාලන පක්ෂයකට පමණක් සහයෝගය නොදැක්විය යුතු බවට කොන්දේසියක් මාධ්‍ය ආයතන වල බලපත්‍ර අලුත් කිරීමේදී පැනවීම පිළිබඳවද මෙහිදී කතාබහට ලක්වූ බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියා සිටියහ. එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් පැමිණ සිටි සිරිතුංග ජයසූරිය අදහස් දක්වමින්, “ජනාධිපතිවරණයේදී දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු තැන්පත් කරන ඇප මුදල රුපියල් ලක්ෂ 25 දක්වාද, ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කරන ඇප මුදල රුපියල් ලක්ෂ 30 දක්වාද වැඩිකළ යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව විසින් යෝජනා කර තිබෙනවා. මේ කාරණා මගින් සිදුවන්නේ ජනාධිපතිවරණයට පෙනී සිටීමට හැකි වන්නේ මුදල් තියෙන අයට පමණයි.ප්‍රජාතන්ත්‍රවාදය ඇහිරීමක් ලෙසයි අප මෙය දකින්නේ.මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විවිධ තර්ක ඉදිරිපත් කළා.නමුත් අපි එම තර්ක පිළිගත්තේ නෑ.” යැයි සිරිතුංග ජයසූරිය කීවේය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ භාණ්ඩාගාරික චමින්ද ජයසේකර අදහස් දක්වමින්, “පාර්ලිමේන්තු මහා මැතිවරණයට පෙර 2019 වසරේ ඡන්ද ලැයිස්තුව සංශෝධනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරා. මාධ්‍ය උපමාන සැකසීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරා.”යැයි චමින්ද ජයසේකර කීවේය. පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි අදහස් දක්වමින්, “මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ වියදම් සීමා කිරීමේ නීතිය සම්මත කිරීම පිළිබඳව සාකච්ඡා කරා.අනවශ්‍ය අයුරින් අපේක්ෂකයින් විශාල පිරිසක් තරග කිරීම සීමා කිරීම පිළිබඳවත් මෙහිදී කතාබහ කළා. පසුගිය මැතිවරණයේදී රාජ්‍ය බලය, දේපොළ අවභාවිතා කිරීම සිදුවුණා.ඉදිරි මැතිවරණයට පෙර ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවත් සාකච්ඡා කළා.”යැයි ඔහු පැවසීය. සාලිය කුමාර ගුණසේකර
 

More News..