brand logo

මාරක රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාවේ අඩු වීමක්

05 June 2019

පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව මේ වසරේ මාර්තු මාසය අවසන් වන විට මාර්ග අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 698කි. කෙ‍සේ නමුත් 2018 වසරේ එම සංඛ්‍යාව 849ක් ලෙස සටහන් විය. ඒ අනුව 2018ට සාපේක්ෂව මේ වසරේ මාර්තු අවසානය වන විට මාර්ග අනතුරුවලින් මිය යන්නන්ගේ සංඛ්‍යාව 151කින් අඩුවී ඇත. එය සාධනීය ප්‍රවණතාවක් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි. “මෑතක්වන තෙක්ම මාර්ග අනතුරු සිදු වීමෙන් සෑම පැය තුනකටම එක් අයකු මිය යන තත්ත්වයක් අපිට දකින්න පුළුවන් වුණා. ඒ කියන්නේ දිනකට මාර්ග අනතුරු නිසා අට දෙනෙක් මිය යනවා. එය භයානක තත්ත්වයක් වගේම ව්‍යවසනයක්. එයින් අපිට අහිමිව යන්නේ වටිනා මිනිස් ජීවිත. ඒ නිසා මාර්ග අනතුරු අවම කර ගැනීමට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ලෙසට විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මඟ පෙන්වීම යටතේ අපි සාර්ථක වැඩපිළිවෙලක් දියත් කළා. මේ සාධනීය තත්ත්වය තවත් ඉදිරියට ගෙන යාමට මේ වසර ආරම්භයේදීම විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මඟ පෙන්වීම යටතේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ලෙසට අපි අපේ වැඩපිළිවෙල වේගවත් කළා. ඒ අනුව තමයි අද වන විට පසුගිය වසරට සාපේක්ෂව මාර්ග අනතුරුවලින් මිය යන සංඛ්‍යාව සැලකිය යුතු ලෙසින් අඩු කර ගැනීමට හැකි වුණේ...”යි ද සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.
 

More News..