brand logo

මාන්කුලමේදී වැලි ජාවාරම්කරුවන් හා යුධ හමුදාව අතර ගැටුමක් - අයෙකුට තුවාල

07 August 2019

මුලතිව්, මාන්කුලම, අබ්බකාමම් ප්‍රදේශයේදී වැලි ජාවාරම්කරුවන් හා යුධ හමුදා නිළධාරීන් අතර ඊයේ (06) රාත්‍රියේ ගැටුමක් හටගෙන ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසයි. මුලතිව් ආරක්ෂක අංශ පැවසූවේ අම්බකාමම් මාම්මිල් ගණදෙවි කෝවිල මාර්ගයේදී රාත්‍රියේ වැලි පැටවු පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි ගැටුම හටගෙන ඇති බවයි. යුධ හමුදා නිළධාරීන් අදාළ පිරිස ටිපර් රථයකින් පළා‍යාමට උත්සහ කිරීමේදී සැකකරුවන් අල්ලාගැනීමට උත්සහකොට ඇති අතර, එහිදි තිදෙනෙකු පළාගොස් සැකකරුවන්ගෙන් අයෙක් අල්ලාගෙන ඇති බවද ආරක්ෂක අංශ පැවසීය. අදාළ අවස්ථාවේදී යුධ හමුදා සාමාජිකයින් වෙඩි තැබීමක් සිදුකොට ඇති බව අම්බකාමම් ප්‍රදේශවාසීන් පවසති. වෙඩි හඩ හේතුවෙන් අදාළ ස්ථානයට ගම්වාසීන් පැමිණ ඇති අතර, එහිදි යුධ හමුදාව අල්ලාගෙන සිටි පුද්ගලයා ගම්වාසීන් බේරාගෙන ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරති. ප්‍රදේශවාසීන් පැවසූවේ යුධ හමුදාව අල්ලාගත් පුද්ගලයා වෙත පහරදි තුවාල සිදුකොට ඇති අතර, අදාළ පහරකෑමට ලක්වු පුද්ගලයා මාන්කුලම රෝහලට ඇතුළත් කොට ඇති බවයි. සිද්ධියට සම්බන්ධ යුධ හමුදා නිළධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලීම් කරමින් වැලි ජාවාරම්කරුවන් පිරිසක් ඊයේ (06) රාත්‍රියේ මාන්කුලම පොලිසිය ඉදිරිපස රැදී සිටි බවද මුලතිව් ආරක්ෂක අංශ පවසති. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසියෙන් සිදුකළ විමසීමකදී පොලිසිය පැවසූවේ රාත්‍රියේදී වැලි ප්‍රවාහනය කළ පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී යුධ හමුදා නිළධාරීන් වෙත පිරිසක් පහරදි පළාගොස් ඇති අතර, ප්‍රති ප්‍රහාර එල්ල කිරීමේදී පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි. තුවාලකරු මාන්කුලම රෝහලේ ප්‍රතිකාර ලබන බවත්,සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවද පොලිසිය පැවසීය.   වවුනියාව - මාධව කුලසූරිය
 

More News..