brand logo

මානසික රෝග විශේෂ ප්‍රතිකාර ඒකක 2ක් කොවිඩ් රෝගීන්ට

17 November 2020

කොවිඩ් 19 ආසාදනය වී ඇති, මානසික රෝගවලින් පෙළෙන අයට ප්‍රතිකාර කිරීම සඳහා අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂ ප්‍රතිකාර ඒකක 2 ක් මේ වන විට ඉදිවෙමින් පවතින බව එම සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ පැවැසුවාය. මෙම විශේෂ ප්‍රතිකාර ඒකක 2 හි ප්‍රතිකාර ලබන රෝගීන්ට විශේෂඥ මනෝ වෛද්‍යවරු කණ්ඩායමක් ප්‍රතිකාර සඳහා සූදානමින් සිටින බව ඇය පැවැසුවාය. විශේෂඥ මනෝ වෛද්‍යවරිය පැවැසුවේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ හඳුන්වා දී ඇති 1926 මානසික උපකාර සේවයට කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූ දිනයේ සිට දුරකථන ඇමතුම් 500 ක් පමණ ලැබී ඇති බවයි. කොරෝනා වසංගත තත්ත්වයත් සමග ඇතිවූ ආර්ථිකයේ පසුබෑමත් සමග තම ජීවිත පිළිබඳව බියෙන් පසුවන පිරිස් එසේ දුරකථන ඇමතුම් දී ඇති බවද වෛද්‍යවරිය කීවාය. කොරෝනා පළමු රැල්ල ආරම්භයේදී මෙම 1926 දුරකථන අංකයට දිවයින පුරා සිටින පුද්ගලයන්ගේ දුරකථන ඇමතුම් 12,000 කට වැඩි ප්‍රමාණයක් ලැබුණු බවත් ඒ අතරින් බහුතරයක් සියදිවි නසා ගැනීමට තැත් කළ පුද්ගලයන්ගෙන් ලැබුණු බවත්ය. මේ දිනවල එම දුරකථන අංකයට ලැබෙන බහුතරයක් ඇමැතුම් ලැබෙන්නේ අංගොඩ මානසික රෝහලින් ප්‍රතිකාර ලබාගෙන රෝගය යම්තාක් දුරකට සුව වූවන්ය. රට තුළ ඇතිවී තිබෙන තත්ත්වයත් සමග ඔවුන්ගේ මානසික රෝගය තව තවත් උත්සන්න වූ පිරිස් එසේ දුරකථන ඇමතුම් දී ඇති බවද ඇය කියා සිටියාය. එමෙන්ම මෙම 1926 දුරකථනයට කෙටි පණිවුඩ එවමින් තමන්ගේ මානසික ගැටලු පැවැසීමට අංගොඩ මානසික රෝහලින් මේ වනවිට අවස්ථාව ලබාදී ඇති බවත් මෙම දුරකථන අංකයට ලැබෙන බහුතරයක් කෙටි පණිවුඩ ලැබෙන්නේ මානසික ආතතියට පත්ව සිටින තරුණ පිරිසගෙන් බවද වෛද්‍යවරිය පැවැසුවාය. කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමට දායකත්වය සපයමින් විශාල මෙහෙවරක් සිදු කරන මෙම ක්‍රියාන්විතයේ යෙදී සිටින සෞඛ්‍ය අංශ, පරිපාලන අංශ, ආරක්ෂක අංශ ඇතුළු පිරිස් සඳහාද ඇතිවන ආතතීන්, මානසික ගැටලුවලට සහනයක් ලබාදීම සඳහාද විශේෂිත දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. 071-2578578 නම් එම විශේෂිත අංකය ඔස්සේ මෙම නිලධාරීන්ට මනෝවිද්‍යා විශේෂඥ වෛද්‍ය සේවාව මගින් සහන ලබාගත හැකි බව ඇය කියා සිටියාය. විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ පැවැසුවේ රට තුළ ඇතිවී ඇති මෙම තත්ත්වයත් සමග බොහෝ විට විශාදය, කාංසාව වැනි මානසික තත්ත්වයන්වලට බහුතරයක් දෙනා ලක්වීමට ඉඩකඩ ඇති බවයි. අශිකා ජයවීර
 

More News..