brand logo

මාධ්‍යවේදියාගේ නිසල සිරුර නිවසින් සොයා ගනී

10 September 2020

"ද අයිලන්ඩ්" පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු හා නියෝජ්‍ය ප්‍රවෘත්තී කර්තෘවරයකු වශයෙන් සේවය කළ සැකී ජැබාර් මහතාගේ සිරුර ඔහුගේ නිවසේ තිබී ඊයේ (9) රාත්‍රියේ සොයා ගෙන ඇත. 60 හැවිරිදි අවිවාහකයෙකු වන සැකී ජැබාර් මහතා බත්තරමුල්ල පැලවත්ත පීරිස් මාවතේ සිය නිවසේ තනියම ජීවත්ව ඇත. ඔහු සේවය කළ පුවත්පතේ සේවය සඳහා දින ගණනාවක් තිස්සේ ඔහු පැමිණ නොතිබීම සැකයට භාජනයවීම නිසා පුවත්පත මගින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය සමග ගිය ඥාතියෙකු ඔහුගේ නිවසේ දොරගුළු කඩා ඇතුළුවී පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමුවී තිබේ. සිරුර සොයා ගන්නා අවස්ථාව වනතෙක්ම ඔහු නිවස තුළ මියගොස් ඇති බවට කිසිවකු දැනසිට නොමැති බව තලංගම පොලිසිය පවසයි. මළ සිරුර සොයාගන්නා අවස්ථාවේ දැඩි දුගඳක් වහනය වූ බවත් නිවසේ සියලු දොර ජනෙල් වසා තැබීම හේතුවෙන් සිරුරේ දුගද පිටතට හමාගොස් නොමැති බවත් පොලිසිය පවසයි. සිරුර පරීක්ෂා කිරීමේදී මීට සතියකට පමණ පෙර ඔහු මිය යන්නට ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි. සැකී ජබාර්ගේ මරණයට හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා තොරතුරු වාර්තා වී නොමැති අතර ඔහුව ඝාතනය කළාද නැතිනම් වෙනත් හේතුවක් මත මියගියාද යන්න ගැන පරීක්ෂණ තලංගම පොලිසිය විසින් සිදු කරනු ලබයි.
 

More News..