brand logo

මාධවීට ආදරේ ඕනෑ කෙරේ

30 January 2021

ජනවාරි 18 කියන්නේ ඇන්තනී පවුලටම සුවිශේෂී දිනයක්. ඒ සිය දරුවන් තිදෙනාගේම විවාහ සංවත්සරය යෙදී තිබීම මෙන්ම අකිල සහ එමිගේ ආදරණිය සහ ජැක්සන්-කුමාරිගේ පළමු මිනිබිරිය වන ආරණ්‍යාගේ පළමු උපන්දිනය නිසා. මේ විශේෂතා අතරට තවත් අපූර්වත්වයක් එක් කරලා තිබ්බේ මාධවී වත්සලා ඇන්තනි. ඒ ආදරේ ඕනෑ කෙරේ ගීතය අන්තර්ජාලයට එකතු කරමින් ගීතය ගැන ඇය මුලින්ම කතා කළා... 2015 තමා මේ සිංදුව හැදුවේ. රාජ් තිලයියම්පලම් මගේ හඬ අහලා මට ආරාධනා කළා සින්දුවක් කරමු කියලා. ඊට පස්සේ අපි මුණගැහිලා ඒ ගැන කතා කළා. මම මොනවගේ සින්දුවක් කරන්නද කැමති කියලා. මම කිව්ව දේ තමා මතක හිටින සතුටක් ගෙන දෙන සහ ඕනෙම කෙනෙක්ට කියන්න පුළුවන් හිතින් හෝ මිමිණෙන විදිහේ සරල ලස්සන මෙලඩි එකක් වෙන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් රූප රචනාවක් කරද්දී රූප මැවෙන ආකාරයේ එකක් වෙන්න ඕනේ කියන කාරණය. මොකද මට ඕනෙකම තිබ්බේ කනින් සින්දුව අහනවා වගේම රූප රචනාව දිහා බලලා රසවිඳින්න පුළුවන් විදියේ සිනමාත්මක රූප රචනාවක් කරන්න. රාජ් කියලා කියන්නේ කොහොමත් ඉන්දියානු සිනමාව එක්ක කොලිවුඩ් චිත්‍රපටවල මෙන්ම අන්තර්ජාතික චිත්‍රපටවල පවා සංගීත අධ්‍යක්ෂණය කරපු කෙනෙක් නිසා අත්දැකීම් බහුල කෙනෙක්. ඒ නිසා මම කියපු විදියට මෙලඩි එක හදලා එව්වා. මම ඒක අහලා ගොඩක් සතුටු වුණා. අප්පච්චි තමා මේකට වචන ලිව්වේ. පොඩි දරුවන් අතර ජනප්‍රිය ‘කොපර කොපර පිපිඤ්ඤා’ එළුවන් කෑම වගේ ඒවා තුළ තියෙන පද වහර සහ පුංචි ළමයින්වත් දාලා අපි කැමති විදියට වැඩි දියුණු කර ගත්තා. 2019 අන්තිමට වගේ තමා සින්දුව සම්පූර්ණ වුණේ. අප්පච්චි සාමාන්‍යයෙන් දෙයක් සම්පූර්ණ වෙනකම් හිත හදාගන්නේ නැහැනේ වැඩේ හදාගන්නවා මිසක්. මෙහි ශබ්ද සංයෝජනය කරේ ඉන්දියාවේ. ඒ නිසා මෙහෙන් හදලා එහෙට යවනවා. ආයේ එවනවා. ඒ නිසා කාලය අරගෙන ආයේ ආයේ හදමින් වෙනස්කම් කරමින් තමා හැදුවේ. මේ ගීතය තවත් විශේෂ වෙන්නේ, ගීතය එළිදක්වන දවසේ තියෙන සුවිශේෂීතාව නිසා. ඒ ගැන මාධවී කතා කළේ පුදුමාකාර සතුටකින්. ඇත්තටම. අපි තුන්දෙනාම එකම දවසේ විවාහපත් වුණා. ඒ එක්කම පළමු සැමරුම් දවසේ එමී නංගිට බබා ලැබුණා. ඒ නිසා අපි හිටියේ ඔක්කොම රෝහලේ. මෙදා සැරේ ඉතින් විවාහ සංවත්සරය සහ අපේ පුංචි දෝණි ආරණ්‍යාගේ උපන් දිනේ පවුලේ ඔක්කොම එකට එකතුවෙලා සමරන්න ලැබුණා. ඉතින් එදාම තමා මේ ‘ආදරේ ඕනෑ කෙරේ’ ගීතය මාධවී ඇන්තනී යූටියුබ් චැනලය හරහා අන්තර්ජාලයට එකතු කළේ. ආරණ්‍යා දුවගේ උපන් දිනයට ගීතය එළිදැක්වීම විශේෂයි. මොකද ඇය ආදරය ලබන දැරියක්. එයා හරි වාසනාවන්තයි. අපි හරි වාසනාවන්තයි එයා වගේ පින්වන්ත දියණියක් ලබන්න. ඒත් ඒ වගේ පින්වන්ත ආදරයක් අවශ්‍යමුත් නොලැබෙන අය කොයිතරම් ඉන්නවද? ඒ නිසා අපි දන්නවා ආදරේ වටිනාකම. එය නොලැබීම මොන තරම් දුකක්ද කියලත් අපි දන්නවා. ඒ නිසා ආරණ්‍යා දුවගේ හුරතල් දකින හැමවෙලාවකම හිත යටින් මතක් වෙන්නේ මේ ආදරය නොලැබෙන නමුත් ආදරය අවශ්‍යම දරුවන් කොයිතරම් ඉන්නවද? ආදරය ඉගෙන ගන්නේ ආදරය ලැබුණොත්. ඒ නිසා මේ ගීතය එහෙම සැමට ආදරය ලැබෙන ලෝකයක් බිහිවේවා කියන ප්‍රාර්ථනාවක් හිතේ දරාගෙන පත්තු කරපු පහනක් වගේ. කලා පවුලක ඉපදිලා, කලාව තුළ නියැළුණු කාලය තුළ මගහැරුණු දේවල් ගැන පසුතැවීමක් මාධවී ළඟ නැහැ. ඔය දේ ගැන මම මිලාන් එක්ක නිතර සාකච්ඡා කරනවා. මට මිට කලින් මිලාන්ව හම්බුණා නම් මේ දේවල් කරලා ගොඩක් කල්නේ කියලා. ඒ කාලය තුළ ඉගෙනීම් කටයුතු ඉවර කළා. විවිධ වෘත්තීන්වල රැකියා කරලා ලබපු අත්දැකීම් ඒ දේවල් තුළින් මට ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. ඒ නිසා මිලාන් කියන්නේ ඒ කාලය ගැන පසුතැවෙන්න එපා කියලා. මග හැරුණු කාලය ගැන දුකක් නැහැ. ඒ දේවල් එහෙම සිද්ධ වෙන්න තියෙන්න ඇති.මාධවී-මිලාන් කැදැල්ලට අලුත් අමුත්තෙක් ගැන හිතලා නැද්ද කියලා හැමෝම අහනවලු... අප්පච්චිගේ නම් ලොකු ඉල්ලීමක් තියෙනවා. සීයා වුණා වගේම මේ වුරුද්දේ දෙසීය තුන්සීය වෙන්න ඕනේ කියලා ප්‍රසිද්ධියේම කියනවා. අපෙත් බලාපොරොත්තුවක් තියෙනවා. කලාවට පූර්ණ කාලීනව ප්‍රවේශ වුණේ දැන් නිසා හොඳ නිර්මාණයක් දෙකක් කරලා ඒ ගැන හිතනවා. මවක් වෙන්න ලේසි නැහැ, ඒ සියලු කැපකිරීම් කරන්න සූදානමින් තමා මවක් වෙන්න ඕනේ. හැමදේම හොඳින් වුණා වගේම සොබාදහම විසින් මට ඒ දේට කාලය සලසා දෙයි කියලා මම හිතනවා. මේ වසරේ තියෙන බලාපොරොත්තු ගැන අවසාන වශයෙන් කතා කළා... තවත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. ඒකත් මේ වසර මුල් භාගය තුළ එළිදක්වන්න සූදානම්. වෙනස්ම තේමාවකට වෙනස්ම සංගීත රටාවකට මිලාන්ගේ වුවමනාවට නිර්මාණය කරපු ගීතයක්. එකෙත් වීඩියෝ එක කරන්න තියෙනවා. වෘත්තීයම රංගන ශිල්පිනියක් විදියට වැඩ කරන්න අරන් තවම මාස ගණනයි. ‘තාදී’ මගේ අලුත්ම ටෙලි නාට්‍යය විකාශය වෙන්න පටන් ගත්තා. ‘මහවිරු පණ්ඩු’ නාට්‍යයත් තවම විකාශය වෙනවා. ඒ නිසා ලැබෙන ආරාධනා අනුව කලා නිර්මාණවල වැඩ කරන්න සහ මගේ මාධවී ඇන්තනී යූටියුබ් චැනලය හරහා අලුත් දේවල් දායාද කරන්නත් බලාපොරොත්තු වෙනවා. අනූෂා රණසිංහ
 

More News..