brand logo

මාතලෙන් හමුවූ ආසාදිතයා වැලිකන්ද රෝහලට

06 October 2020

මාතලේ පල්ලේපොල ඇහැලේපොල ප්‍රදේශයේ පදිංචි මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (06) වාර්ථා විය. අසනීප තත්වයක් හේතුවෙන් මාතලේ මහ රෝහලෙන් ප්‍රතිකාර ගෙන පසුව මහනුවර මහ රෝහලේ දී පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කර ඇති අවස්ථාවේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. එම පුද්ගලයා මේ වන විට වැලිකන්ද මූලික රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය පවසයි. මොහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද මේ වන විට ඔවුන්ගේ නිවෙස් තුළම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ස්වයං නිරෝධායනයට ලක්කර ඇත. වයස අවුරුදු 15 ක් වන පිරිමි දරුවාට සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්වය ඇති නිසා පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක් කර ඇති අතර එම දරුවන් දෙදෙනා මාතලේ සහ මහනුවර පිහිටි විද්‍යාල දෙකක ඉගෙනුම ලබයි. මෙම අය ආශ්‍රය කළ පුද්ගලයින්ට යම් උණ රෝගයක් හෝ වෙනත් අසනීප තත්වයකින් පෙළෙන්නේ නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දැනුවත් කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට වහාම රජයේ රෝහල් වෙත යොමුවෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.
 

More News..