brand logo

මාකඳුරේ මධුෂ්ට මොකද වෙන්නේ ?

22 June 2019

සිංහලයාගේ මතකය සති දෙකකට සීමා වන බව ප්‍රභාකරන් වරෙක ප්‍රකාශ කළේ ය. එය නියමයක් නොවුණද සත්‍යයක් බව යළිත් තහවුරු වන්නේ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා සම්බන්ධ සිද්ධි මාලාව නිසාය. මීට මාස දෙක තුනකට පෙර රටම කතා කරන චරිතයක් වූ මධුෂ් ලක්ෂිත නොහොත් මාකඳුරේ මධුෂ් දැන් සියලු දෙනාගේ මතකයෙන් ගිලිහී ගොසිනි. ප්‍රශ්නය ඇත්තේ සාමාන්‍ය ජනතාව පමණක් නොව බලධාරින්ද ඔහු අමතක කර තිබීමය. මාකඳුරේ මධුෂ් අමතක කළද ඔහු හරහා මතු වූ පාතාල ක්‍රියාකාරකම් නීති විරෝධී කටයුතු, මිනිස් ඝාතන සහ ඒවාට සහාය දුන්, සම්බන්ධ වූ නිලධාරින්ගේ සිට ලොකු කුඩා සියලු දෙනා අමතක කිරීමට බලධාරින්ට හැකියාවක් තිබේද? පොලිස් නිලධාරින් ඝාතනය කරමින්, පොලිසියේ ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වා මරණ තර්ජන පවා කරමින් මාකඳුරේ මධුෂ් රටම බියපත් කළ කාලයක්ද තිබුණේය. මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ්, මැති ඇමැතිවරුන්ගේ ඇසුරේ පවා කටයුතු කරමින් නව වසරට ඉහළ දේශපාලනඥයන්ට තෑගි භෝග එවූ කාලයක්ද තිබුණේය. ඉහළ සබඳකම් පවත්වමින් ඝාතන රැල්ලකින් රටක් හෙල්ලූ මාකඳුරේ මධුෂ් ඩුබායි රාජ්‍යයේදී කොටුවූ පසුවත් අන්තිම මොහොත දක්වා වෙරදැරුවේ කෝටි ගණනින් මුදල් වියදම් කර හෝ ඩුබායි රාජ්‍යයේම සැඟවෙන්නටය. ඩුබායි සිට ස්විට්සර්ලන්තයට පනින්නටද මාකඳුරේ මධුෂ් වෙරදැරූ වග බුද්ධි අංශද සනාථ කරගෙන තිබුණේය. විමර්ශන සඳහා මාකඳුරේ මධුෂ් ලංකාවට ගෙන එද්දී ඔහු සිටියේ දැඩි සේ භීතියට පත්වය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් හතරවැනි තට්ටුවේ රඳවන මොහොතේත් මධුෂ් සිටියේ ඇඬූ කඳුළිනි. ඒ කොයි මොහොතේ හෝ ආයුධ පෙන්වන්නට ගොස් වැඩ වරදී යැයි බියෙන් විය හැකිය. කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශනවලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කරද්දී මධුෂ් සම්බන්ධ විමර්ශන ඈලියාවට ගියේය. පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක එම්. ආර්. ලතීෆ් මාකඳුරේ මධුෂ්ගේ පාතාල කණ්ඩායම්වල බලය බිඳින්නට කළ පාතාල මර්දන මෙහෙයුම්වලට යොදාගත් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය හෝ සංවිධානාත්මක අපරාධ ඒකකය හෝ යොදාගෙන මධුෂ්ට සම්බන්ධ කල්ලි හා අවි ආයුධ ගැන සොයා ගියේ නම් මීට වඩා ප්‍රතිඵලයක් ලබාගන්නට තිබූ බව විමර්ශන නිලධාරීහු පෙන්වා දෙති. එහෙත් තමන් සම්බන්ධ පරීක්ෂණ කෙරෙහි බලධාරින්ගේ උනන්දුවක් නොමැති බව පෙනී යෑම නිසා මධුෂ්ද දැන් සියලු දේ වගකීම අංගොඩ ලොක්කා සහ අනෙක් කණ්ඩායම් මත පවරා ඇඟ බේරා ගැනීමට උත්සාහ කරමින් සිටින බව ඔවුහු කියති. වත්මන් ආණ්ඩුව හා ජනපතිවරයා අතර විරසකය ඔඩුදුවන්නට මුල් වූ අය අතර පාතාල නායක මාකඳුරේ මධුෂ් ද සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් ඝාතන සැලසුමක් කරළියට ආවේ මාකඳුරේ මධුෂ්ගේ නමත් සමගය. මෙම සිදුවීම් අතරේ එල්ටීටීඊයේ යළි හිසඔසවන කණ්ඩායම් ගැන හෙළිවන්නේත් හමුදා බුද්ධි අංශ කළ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසය. හමුදා බුද්ධි අංශය හෙළිකරගත් තොරතුරුවලට අනුව පුදුකුඩිඉරිප්පු කේන්ද්‍ර කරගෙන හිස එසවූ කොටි කණ්ඩායම් ප්‍රභූ ඝාතනයක් සඳහා ස්නයිපර් අවි දෙකක් සූදානම් කළ බව හෙළි විය. ඒ අතරින් එක් ස්නයිපර් අවියක් ඕනෑම තැනකට ගෙන යා හැකි ලෙස නවීකරණය කර තිබූ එකකි. යළි හිස එසවූ කොටි කණ්ඩායම් ගැන විමර්ශන නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදුන් පසුව කොටි කණ්ඩායම් කොටුකළත් ස්නයිපර් අවිවලට සිදු වූ දේ අදටත් හෙළි වී නොමැත. එම විමර්ශන කණපිට හරවා ආරක්ෂක මණ්ඩලයත් නොමග යවා සියල්ල උඩුයටිකුරු කෙරුණේ නියෝජ්‍ය පොලිස්පතිගේ අමුතු විමර්ශනයකිනි. එල්ටීටීඊයේ යළි හිස එසවීමක් නොවන වගත්, මෙය රාජපක්ෂ රජයට හිතවත් හමුදා බුද්ධි අංශය කරන මවාපෑමක් බවත් කියමින් කොටි තර්ජනය යට ගසන්නට සැලසුම් කළේ මෙකී පොලිස් ලොක්කාය. ප්‍රභූ ඝාතන තැත ගැන මධුෂ්ගෙන් සොයා ගැනීම මෙන්ම මධුෂ්ගේ ආයුධ ගබඩාව ගැනද හෙළිකරගත හැක්කේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටය. මාකඳුරේ මධුෂ් සතුව එල්ටීටීඊයෙන් ලද මයික්‍රෝ පිස්තෝල ඇතුළු ආයුධ පෙට්ටි ගැන පවා තොරතුරු වාර්තාවල සඳහන් වුවද, මධුෂ්ගෙන් එවැනි ආයුධ මෙතෙක් සොයාගෙන නොමැත. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඝාතන තැතකට හම්බන්තොටදී එල්ටීටීඊයේ ක්ලේමෝ බෝම්බයක් අටවන්නට සහාය දී ආයුධ පෙට්ටියක් ලබාගත් බවට මීට පෙර මධුෂ්ට චෝදනාවක් එල්ල කළේ ත්‍රෂ්ත විමර්ශන කොට්ඨාසය ඇතුළු බුද්ධි අංශ කණ්ඩායම්ය. එල්ටීටීඊයේ පොලිස්පතිව සිටි නඩේෂන්ගේ බිරිඳ වූ විනීතා ගුණසේකරට මාකඳුරේ මධුෂ්ගේ මව වූ මාලනී සමරසිංහගේ පියාගේ පාර්ශ්වයෙන් ඥාති සබඳතාවක් ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හෙළිකරගන්නේ මීට පෙර මධුෂ්ව අත්අඩංගුවට ගන්නා මොහොතේදීය. මීගමුව බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී රාගම පදිංචි මහේෂ් සින්නයියා හඳුනාගෙන ටී. 56 අවි පහක් විකිණීමට මධුෂ් මුල් වූ වග දැනට මධුෂ් සම්බන්ධ ඇති අපරාධ ගොනුවල සඳහන්ය. කළුතර, එතනමඩලදී 2017 පෙබරවාරි 27 දා බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර රණාලේ සමයං ඇතුළු පාතාලයන් පස් දෙනකු බන්ධනාගාර නිලධාරින් දෙදෙනකුත් ඝාතනය කිරීමේ සැලසුම මාකඳුරේ මධුෂ්ට එල්ල වූ තවත් චෝදනාවකි. එම ප්‍රහාරයට යොදාගත් ටී 56 අවි ඇතුළු ආයුධ මාකඳුරේ මධුෂ් සැපයූ බව මීට පෙර අසු වූ පාතාල සගයන් හෙළි කළත් මාකඳුරේ මධුෂ් කියන්නේ මේවා අංගොඩ ලොක්කාගේ බවය. අංගොඩ ලොක්කා එතනමඩල ප්‍රහාරයෙන් පසුව සිටින්නේ ඉන්දියාවට පැනගොස්ය. අංගොඩ ලොක්කා සමග අතුරුගිරියේ ලඩියාද සිටින්නේ ඉන්දියාවේය. මධුෂ් කොටුකර ගත් පසුව අංගොඩ ලොක්කාත්, කොටුකරන මෙහෙයුමක් බුද්ධි අංශ විසින් අරඹා ඇත. මේ සියලු ඝාතන සුලමුල හෙළි කරගත්තේ සියලු දෙනා එකම තැනකට ගෙනා පසුවය. පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට වෙඩි තබා තුවාල කළ, පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කිරීමේ චෝදනාවද මාකඳුරේ මධුෂ්ට නැගෙන චෝදනාවකි. එම ප්‍රහාරයට යෙදූ වෙඩික්කරු වූ අසිත මෙන්ම පොලිස් පරීක්ෂක රංගජීවට කුඩු ඔත්තුවක් දෙන අයුරෙන් පිළියන්දලට ගෙන්වා ගන්නට ඔත්තුකරුවකු ලෙස යොදා සිටි නවාස් යන දෙදෙනාත් දැන් ඉන්නේ ඉන්දියාවේය. නවාස් හා අසිතව එම ප්‍රහාරයෙන් පසු මන්නාරමෙන් බෝට්ටුවල නංවා ඉන්දියාවට ගෙන්වන්නේ මධුෂ් හා මධුෂ්ගේ දෙවැනි බිරිඳ දිලිණිගේ සැලැස්මකටය. දිලිණිගේ කලින් සැමියා වූ මහරගම කළු තුෂාරව වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේ දී ඝාතනය කළ පළිය ගන්නට පොලිස් පරීක්ෂක රංගජීව ඝාතනය කරන්නට කළ සැලසුමක් මත එම ප්‍රහාරය සිදුව තිබිණි. ආමි ගමගේ කුසුමදාස, විජේතුංග ගමගේ උපනන්ද යන අය ඝාතනය කරමින් පාතාල ලොව කරළියට එන මාකඳුරේ මධුෂ්ට දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති හිටපු අමාත්‍ය ඩැනී හිත්තැටිය ඝාතනය කරවීමේ චෝදනාවද එල්ල විය. එතැන් පටන් ඝාතන රැල්ලක් මෙහෙය වූ මාකඳුරේ මධුෂ් කිසිදු අපරාධයක සාක්ෂියක් නොතැබූ නිසා ඩුබායිහි දී කොටුවනතුරු ජාත්‍යන්තර රතු නිවේදනයක් නිකුත් කරන්නට තරම් අපරාධ චෝදනා ගොනු කරගත නොහැකි විය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් මධුෂ්ට එරෙහි අපරාධවල සාක්ෂි ගොනු කරමින් ඇතත්, මධුෂ්ට අනාගතයේ සිදුවන්නේ කුමක්දැයි කාටත් ප්‍රශ්නයකි. මාකඳුරේ මධුෂ්ව අබුඩාබි පොලිසියට කොටුකරන මෙහෙයුමේ සිටි කුඩු මොරිල්වත් ලංකාවට එවන සැලසුමක් දැන් ඩුබායිහි ක්‍රියාත්මකය. ලංකාවට කුඩු එවන්නට සියලු පාතාලයන් හා සම්බන්ධ වූ හලාවත සමන් නමැති බෝට්ටු හිමි කුඩු ජාවාරම්කරුවා පාස්කු ප්‍රහාරයෙන් පසුව ඩුබායිහි දී පොලිසියට කොටුකර දුන් බවට චෝදනා ඇත්තේත් කුඩු මොරිල්ටය. හලාවත සමන් ඩුබායි සිට මාකඳුරේ මධුෂ්ට මෙන්ම සියලුම මත්කුඩු ජාවාරම්කරුවන්ට හෙරොයින් තොග පිටින් ගෙනැවිත් දී තමන්ගේ කොටස හිමිකරගත් ජාවාරමකු බව හඳුනාගෙන ඇත. කුඩු කිලෝ සියයක් ගෙනැවිත් දෙන විට සමන්ටත් කිලෝ විස්සක් ලැබෙන පරිදි සියලු ගනුදෙනු සිදු වන්නේය. කුඩු ජාවාරම වෙනුවෙන් පාතාලය මරා ගනිද්දී මේ සතියේම පාතාලයේ තවත් වැඩකරුවන් වූ ගනේමුල්ල සංජීව හා ගොත අසංක බන්ධනාගාරයේ සිට රඳවා ගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය භාරයට ගත්තේය. මේ දෙදෙනාව ගත්තේ අපරාධ කොට්ඨාසය මීට පෙර අල්ලාගත් වේන්ද්‍රන් හෙවත් අප්පන් නමැති කොටි ප්‍රබලයා ඇතුළු කණ්ඩායමකගෙන් හෙළිවන තොරතුරු හරහාය. විත්තා නමැති ගොත අසංක සමග සිටි පාතාලයකුත් කුගන් සාමි (කනපති කදිරවේල්) අයියර් නමැති හින්දු පූජකවරයකුත් අල්ලා ගන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ප්‍රභූ ඝාතන තැතක කුමන්ත්‍රණයකටය. හමුදා බුද්ධි අංශය, රාජ්‍ය ඔත්තු සේවාව හා කොළඹ අපරාධ කොට්ඨාසය කළ බුද්ධි මෙහෙයුමකින් යළි හිස ඔසවන කොටි කණ්ඩායම් එක්ව සිදුකරන්නට ගිය ඝාතන රැල්ලක් අනාවරණය විය. ගණේමුල්ල සංජීවට එල්ටීටීඊයෙන් අවි ආයුධ ලබා දුන් බවට මේ ගැන කළ විමර්ශනයේදී හෙළි වීමත් සමග ගනේමුල්ලේ සංජීව බන්ධනාගාරයේ සිට පොලිස් භාරයට ගෙන ඇත්තේය. දකුණේ පාතාලයේ මිනිස් ඝාතනවලට ගණේමුල්ල සංජීව හා අප්පන් එක්ව අවි ආයුධ රැස් කරන්නේ ඉන්දියාවේ සිට ශංකර් හා ආනන්ද රාසා යන යළි හිස ඔසවන කොටි කණ්ඩායම්වලට නායකත්වය දුන් අය දුන් උපදෙස් මතය. මෙම මෙහෙයුමට මුදල් ලැබුණේ දෙමළ ඩයස්පෝරාවෙනි. මේ කියන ආනන්ද රාසාත් මීට සති කිහිපයකට පෙර ඉන්දීය ආරක්ෂක අංශවලට කොටුවිය. එල්ටීටීඊයේ හා පාතාලයේ සබඳතා මේ හරහා හෙළිකරගත හැකිය.
 

More News..