brand logo

මහ මැතිවරණ වියදම කෝටි 1000 පනීවි

01 July 2020

ඡන්දදායකයන් 12,000,000 සඳහා දළ වශයෙන් විෂබීජ නාශක දියර ලීටර් 144,000 ක් පමණ අවශ්‍ය වෙතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී එක් ඡන්දදායකයකුට විෂබීජ නාශක දියර මිලිලීටර් 12ක්වත් ඡන්ද මධ්‍යස්ථානයේදී භාවිත කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. මැතිවරණ කොමිෂන් සභාවේ ඊයේ (30 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව කීවේය. විෂබීජනාශක දියර ලීටරයක් දළ වශයෙන් රුපියල් 500.00ක් ලෙස ගණන් බැලූ විට පාර්ලිමේන්තු මහා මැතිවරණයේ ඡන්ද මධ්‍යස්ථානවලට පැමිණෙන ඡන්දදායකයන් සඳහා විෂබීජනාශක දියර සඳහා රුපියල් ලක්ෂ 72ක් වත් වියදම් වේ. ඡන්ද පොළ රාජකාරි කටයුතු කරන නිලධාරීන් සඳහා මුහුණු ආවරණ 350,000 ක් අවශ්‍ය බවට ගණන් බලා ඇති බවත්, ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලටත් එවැනිම ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පැවසුවේය. මැතිවරණය සඳහා වැයවන වියදම ඇතැම්විට රුපියල් කෝටි 1000 කට වඩා වැඩිවිය හැකි බවද සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර මහා මැතිවරණය පැවැත්වීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද මාර්ගෝපදේශ ලබන සතියේදී ගැසට් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවැසීය.   සාලිය කුමාර ගුණසේකර
 

More News..