brand logo

මහ මැතිවරණය ගැන පෙත්සම සලකා බැලීමට පෙත්සම්කාර පාර්ශවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

04 May 2020

ජාතික මැතිවරණ කොමිසම විසින් ඉකුත් අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ලබන ජුනි මස විසි වනදා දක්වා කල් දැමීමට ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මේ මස 11 වනදා 13 වනදා හෝ 14 වනදා යන දිනයන් ගෙන් එක් දිනයක සලකා බැලීම සඳහා කැඳවන ලෙස  පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
පෙත්සම ගොනු කළ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥ වරු විසින් මෙම ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත  ලිඛිතව ඉදිරිපත් කළහ.
පවතින ඇඳිරි නීති තත්වය හේතුවෙන් මෙම නඩුව ඉකුත්දා ගොනු කරනු ලැබුවේ විද්‍යුත් තැපෑල මාර්ගයෙනි.
ඒ අනුව එම නඩුවට අදාළ ලිඛිත පිටපත් ඊයේ දහවල් නීතිඥ චරිත ගුණරත්න මහතාගේ නීතිඥවරු විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයට භාර දුන්හ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල්, ජනාධිපති  ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර, සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවයි.‍
ආණ්ඩුක්රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ දිනය වන මාර්තු දෙවන දා සිට මාස තුනක් නොඉක්මවන කාලසීමාවක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
එම කාල සීමාව ඉක්මවා පවත්වනු ලබන මහ මැතිවරණයක් ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දෙන ඔහූ නාම යෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වූ දින සිට සති පහක් සහ සති හතක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ කරුණු දක්වා ඇතැයි ද පවසයි..
ඒ අනුව මහ මැතිවරණය මැයි මස 13 වනදා ට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටින බව ද ඔහු අවධාරණය කරයි.
එමෙන්ම  කොවිඩ් වසංගතය හේතුවෙන්ට රට තුළ විශාල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර කොරෝනා ආසාදනය විය හැකි පුද්ගලයින් නිරෝධායන පනත යටතේ දින දාහතරක් හෝ 21ක කාලයක් නිරෝධනයට ලක්කිරීමක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තත්ත්වය මත රටතූල නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් බව කියා සිටි.
ඒ අනුව ජූනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටි.
ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මහ මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ජුනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා තිබේ.
 

More News..