brand logo

මහ මැතිවරණය අනිවාර්යයෙන්ම දිනනවා - සජිත් ප්‍රේමදාස

18 June 2020

මහ මැතිවරණය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කර අග්‍රාමාත්‍ය ධුරයට පත්වන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. මහ මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් මීරිගම, මීගමුව ඇතුළු නගර කිහිපයක පැවැති ජන හමුවලදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසුවේය. ‘‘ලෝකයේ තෙල් මිල පහළ බහින කොට ඒ විදිහටම තෙල් මිල පවත්වාගෙන යන ආණ්ඩුවක් අපේ රටේ තියෙන්නේ. පාකිස්තානයේ අගමැති ඉම්රාන් ඛාන් කියනවා දකුණු ආසියාවේ අඩුවටම තමන්ගේ ජනතාවට තෙල් සපයන්නේ පාකිස්තානයෙන් කියලා. පකිස්තානයේ අගමැතිතුමා පකිස්තානයට යුතුකම් ඉෂ්ට කරනවා. නමුත් ශ්‍රී ලංකා රජය තෙල් මිල එක විදිහටම තියාගෙන යනවලු අවුරුද්දක්. අපි අහන්න කැමතියි ඇයි තෙල් මිල අඩුවීමේ සහනය ජනතාවට නොදෙන්නේ. ඇයි තෙල් මිල අඩු කරන්නේ නැතිව ජනතාව පීඩනයට පත් කරන්නේ. අගෝස්තු 5 වැනිදා තමුන්නාන්සේලාගේ ජන වරම අපිට ලබා දෙන විට මේ මෝඩ නීතිය වහාම ඉවත්කරලා අපි මේ රටේ තෙල් මිල අඩු කරන්නට කටයුතු කරනවා. ඒ විතරක් නොවෙයි, රටක් පාලනය කරන කොට හයියක් තියෙන්න ඕනෑ. කශේරුකාවක් තියෙන්නට ඕනෑ. ආණ්ඩුව නියෝගයක් දුන්නහම ඒ නියෝග මහ පොළවේ ක්‍රියාත්මක වෙන්න ඕනෑ. කෝ මිල පාලනයට දුන්න නියෝග. සැමන්වලට පරිප්පුවලට මොකද වෙලා තියෙන්නේ. සමස්ත ආහාර මිල ඉහළ ගිහිල්ලා. අද හාල් මාෆියාව තමයි ආණ්ඩුව පාලනය කරන්නේ. සහල් මාෆියාව කියන කියන විදිහට කුලියට කහින ආණ්ඩුවක් තමයි අද අපේ රටේ තිබෙන්නේ. එළඹෙන ජයග්‍රහණය තුළ සහල් මාෆියාවට අපේ පොදු ජන ආණ්ඩුව තුළ කිසිදු ඉඩක් නැති බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පක්ෂ දෙක අතර බේද තිබුණත් දෙගොල්ලම එක් වෙලා ඇමරිකාවේ මිනිසුන්ට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.3 ක් පරිත්‍යාග කළා. ඒ රටේ මිනිස්සුන්ට සහන ලැබෙන්නේ චෙක් එකෙන්. ගෙදරට එනවා. අපේ රටේ මොකක්ද වෙලා තියෙන්නේ. ළඟම ඉන්න පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ළඟට ගිහිල්ලා දණින් වැටෙන්නට ඕනෑ. මේ රටේ ජනතාව වහල් භාවයට පත් කළ යුගය තමයි මේ යුගය. පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තමයි තීරණය කරන්නේ තමුන්නාන්සේලාගේ ඉරණම. ඒ වගේම වර්තමාන රජය මේ රටේ හැම පවුලකටම තක්සේරුවක් කරලා තියෙනවා. මොකක්ද ඒ, මේ රටේ හැම පවුලක්ම වටින්නේ රුපියල් 5000 යි. මම තමුන්නාන්සේලාට කියනවා 4 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට ජීවත්වෙන්න අඩුම ගාණේ විසිදාහක් වත් දෙන්නට ඕනෑ. මම පොරොන්දු වෙනවා එළඹෙන මැතිවරණයේදී අපි අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබන කොට මේ ආර්ථීක ප්‍රපාතයෙන් රට ගොඩ එනකන් හැම පවුලකටම අඩුම ගාණේ හතර දෙනෙක් ඉන්න පවුලකට රුපියල් 20000 දාගේ ආධාරය අනිවාර්යයෙන්ම ලබා දෙනවයි කියලා. අපි මුහුදු වැලි ව්‍යාපෘති කොමිස් ක්‍රියාත්මක කරන්නේ නෑ. ගල්කිස්ස දෙහිවල වෙරළ තීරයේ තමුන්නාන්සේලාට බලාගන්න පුළුවන් රටේ සල්ලි වලින් ලක්ෂ 8900 ක් වියදම් කරලා අද වෙරළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. ඔන්න තියෙනවා මුදල් විසිදාහ ගාණේ දෙන්න. ඒ විතරක් නොවෙයි, අපේ රටේ තවත් ක්‍රිකට් පිට්ටනියක් හදන්න යනවා ඇමරිකානු ඩොලර් ලක්ෂ 4000 ක් වියදම් කරලා. මේ වෙලාවෙ ක්‍රිකට් ක්‍රීඩාංගණ හදන මොහොතක් නොවෙයි. මේ මොහොත හැම පවුලකටම විසිදාහ ලබා දෙන මොහොතයි කියලා මම කියන්න කැමතියි. අගෝස්තු 5 වෙනිදාට බිහිවෙන්නේ රටේ රාජ්‍ය සම්පත හොරාකන යුගය නොවෙයි, සමගි බල වේගය ජයග්‍රහණය කරන විට බිහිවන්නේ රට සංවර්ධනය කරන මිනිස් සම්පතට ශක්තිය ලබා දෙන, පොදු ජනතාවට සහන ලබා දෙන පොදු ජනයාගේ යුගය බව මම කියන්න කැමතියි.’’ මනෝජ් එදිරිසිංහ - මීරිගම රේමන් අපෝන්සු - මීගමුව
 

More News..