brand logo

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම ලබන සදුදා සිට

03 March 2020

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබෙන බැවින් සියලු දෙනා මැතිවරණ පනතට යටත් වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය. නිදහස්,සාධාරණ,විනිවිද භාවයෙන් යුත් මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍යය සියලු පියවර ගන්නා බවත් කොමිෂන් සභාවට මැතිවරණ කාලසීමාවේදී ඒ සඳහා අවශ්‍යය බලතල තිබෙන බවත් ඒ මහතා කීය. මහමැතිවරණ ඡන්ද විමසීම නිවේදනය කිරීමෙන් පසු පළමු මාධ්‍යය හමුවට මහනුවරදී ඊයේ (03) පස්වරුවේ එක් වෙමින් දේශප්‍රිය මහතා මේබව පැවසුවේය. මැතිවරණ වාග් මාලාවෙන් ප්‍රචන්ඩ ක්‍රියා කියන වචනය මකා දමා තිබෙන බවත් වසර 2015 ජනවාරි මස පැවැත්වූ නිවිතිගල මැතිවරණයෙන් පසු කිසිදු මනුෂ්‍යය ඝාතනයක් හෝ ප්‍රචන්ඩ ක්‍රියාවක් නොමැති මැතිවරණ තුනක් මේවන විට පවත්වා තිබෙන බවත් ඒ මහතා කීය. මැතිවරණයක් නොමැති කාලසීමාවේදී අලුත උපන් පූස් පැටියෙකු ලෙසින් සැලකිය හැකි මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණ සමයකදී විශාල බලයක් ලැබෙන බවත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සිදුවුහ හොත් කොමිෂන් සභාව තුවල ලැබ සිටින රුදුරු සත්වයෙකුගේ තත්ත්වයට පත්වන බවත් හෙතෙම පැවසුවේය. මෙවර මහමැතිවරණය සඳහා රුපියල් කෝටි 550 ත් 600 ත් අතර මුදලක් වැය වෙතැයි අපේක්ෂා කරන බවත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වැඩිවුව හොත් එම මුදල රුපියල් කෝටි 700 ත් 750 ත් අතර මුදලක් දක්වා වැඩිවිය හැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය. මාධ්‍යය උපමාන පසුගිය මැතිවරණයට වඩා හොඳින් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන බවත් ඒ සම්බන්ධව මාධ්‍යය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන බවත් ඒ මහතා පැවසුවේය. පොස්ටර්,බැනර් ප්‍රදර්ශනය කරමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදිය නොහැකි බවත් රැස්වීමක් පැවැත්වෙන දිනය,වේලාව හා ස්ථානය දැනුම් දීමට පමණක් පෝසටර් හා බැනර් භාවිත කළ හැකි බවත් කී ඒ මහතා ප්‍රවර්ධන කටයුතු ගෙන්ගෙට ගොස් සිදුකළ හැකි බවද අවධාරණය කළේය. ඡන්ද විමසීම ඊයේ(02) නිවේනදන කිරීමෙන් පසු ගැසට් ගැසට් පත්‍ර හතරක් නිකුත් කිරීමට පියවර ගත් බවත් ඒවා නම් ඡන්ද ලකුණු පිළිබඳ ගැසට් නිවේදනය,තේරීම්භාර නිලධාරීන් කවුද යන්න පිළිබඳ ගැසට් නිවේදනය,නාම යෝජනා කිරීමේදී එක් එක් කොට්ඨාශය අවශ්‍යය අපේක්ෂක සංඛ්‍යාව හා ඇප මුදල් සම්බන්ධ ගැසට් නිවේදන බවත් සභාපතිවරයා පැවසුවේය. මෙවර මහ මැතිවරණයේදී 2019 ලියාපදිංචි ඡන්ද හිමිනාම ලේඛණය භාවිත කරන බවත් එහි පසුගිය ජනපතිවරණයට 271778 දෙනෙකු ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචිව සිටින බවත් ඔහු කීවේය. තැපැල් ඡන්ද අයඳුම්පත් බාර ගැනීම 09 දා සිට 16 වෙනිදා තෙක් සිදුකරන බවත් එම කාලය කිසිලෙසකින් හෝ දීර්ඝ නොකරන බවත් ඒ මහතා කීය. මේවන විට පක්ෂ 70 ක් ලියාපදිංචිව සිටින බවත් ඒ අතරින් පක්ෂ 06 ක ලේකම්වරුන්ගේ ප්‍රශ්න තිබෙන බවත් කී ඒ මහතා ඔවුන් කැඳවා සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය. දේශාපලනඥයින් කොමිෂන් සභාවේ සතුරන් නොව මිතුරන් බවත් පක්ෂ හා දේශපාලනඥයින් නොමැති නම් මැතිවරණ කොමිෂන් සභාවක් අනවශ්‍යය බවත් කී ඒ මහතා සියලු දෙනා කැපවන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක්පැවැත්වීමට බවද අවධාරණය කළේය.  
 

More News..