brand logo

මහ ඡන්දය කල් දාන්නැයි යෝජනාවක්

08 February 2020

මහ මැතිවරණය වෙසක් පෝයට ආසන්න දිනයක පැවැත්වීමට මැතිවරණ කොමිසම මගින් දේශපාලන පක්ෂ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට වසර හතර හමාරක කාලයක් ගතවූ පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමි වේ. කෙසේ වෙතත් ලබන මාර්තු 01 දිනෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන අතර ඒ අනුව මාර්තු 02 දින හෝ 03 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව වාර්තා වේ. එසේ වුවහොත් නාම යෝජනා භාරගෙන සති 5ක හෝ 7ක කාලය තුළදී මැතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ පනතේ සඳහන් වේ. ඒ අනුව ආසන්නතම දිනය ලෙස අප්‍රේල් 23 හෝ 24 දින මැතිවරණය පැවැත්විය හැකි බවට අනුමාන කර ඇත. මෙම තත්ත්වය තුළ සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා ගොස් යළි සේවා ස්ථානවලට පැමිණි පසුව යළි සතියක් ඉක්මව ගිය පසු ඡන්දයක් පැවැත්වුවහොත් නැවත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ගම්බිම් බලා නොයන තත්ත්වයක් උදාවේ යැයි මතය අනුව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව මැයි 2 දින හෝ මැයි 09 දින අතර කාලයක මැතිවරණය පැවැත්වීමට සුදුසු බවට එහිදී යෝජනා වී තිබේ. කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්‍රබලයකු පැවසුවේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය පැමිණි වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත්, ඉන්පසුව මැතිවරණ පැවැත්වීම පනතේ සඳහන් ආකාරයට දින 53ක් ගිය පසු වහාම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත්ය. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායකගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එසේ මැතිවරණ කල් දැමීමට යෝජනා කිරීමට කොමිසමට බලයක් නොමැති බවයි. පාර්ලිමේන්තුව නිල කාලය සැප්තැම්බර් 1 දිනයේ අවසන් වන බැවින් එසේ දින නියම කිරීමත්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලතල අනුව වසර හතර හමාරකින් මැතිවරණයක් පැවැත්වීමට දින නියම කළ හැකි බවයි. එසේ වුවහොත් මාර්තු 01 දිනෙන් පසුව ආසන්නතම දිනය අනුව අප්‍රේල් 23ත් මැයි 06ත් අතර කාලයේ මැතිවරණය පැවැත්වීමට හැකි බව ඔහු සඳහන් කළේය. චමින්ද සේනාරත්න
 

More News..