brand logo

මහේලව ඉන්දියාවට දී පරාජයට දත නියවමුද?

20 July 2019

ක්‍රිකට් ලෝක කුසලාන ගැන අහස උසට බලාපොරොත්තු තියාගෙන ‘උඩ’ ගිහින් හිටි ඉන්දීය පිලට එකපාරටම ‘බිම’ වැටෙන්නට සිදු විණි. පරාජයෙන් ‘බිම වැටීම’ කෙතරම්නම් ඔවුන්ට වේදනාවක් ගෙනදුන්නාදැයි කියතොත් ලෝක කුසලානට ගිය ඉන්දීය පිලේ සංයුතිය පිළිබඳව සහ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් මේ වන විට බොහෝ ප්‍රශ්න එරටින් පැන නැගී තිබෙයි. එහි පළමු වෙඩිමුරය ලෙසින් ඉන්දීය ක්‍රිකට් බළධාරීන් පියවරගෙන ඇත්තේ ඉන්දීය කණ්ඩායමේ සියලුම පුහුණු කාර්යමණ්ඩලය විසුරුවා හැරීමටය. ඉන්දීය ක්‍රිකට් ආයතනයේ නිළ වෙබ් අඩෙවිය නිවේදනය කරන පරිදි එම සියලු තනතුරු සඳහා නවකයන් බඳවා ගැනීමට මෙම මස 30 වැනිදා දක්වා අයැදුම් පත් භාරගන්නා බව සඳහන්ය. එකී තනතුරු අතරේ අයදුම්පත් භාර ගන්නා බවට ඉහළින්ම සඳහන්ව ඇත්තේ ප්‍රධාන පුහුණුකරු ධුරයය. වර්තමානයේ ඉන්දීය පුහුණුකරු වශයෙන් කටයුතු කරන්නේ රවී ශාස්ත්‍රිය. ශාස්ත්‍රිට ඉන්දීය පිලේ ප්‍රධාන පුහුණුකරු පුටුවේ වාඩිවීමට අවස්ථාව උදා වූයේ හිටපු පුහුණුකරු අනිල් කුම්බ්ලේ සහ වත්මන් නායක විරාට් කෝලී අතර ඇතිවූ නොහොද නොක්කාඩුවේ ප්‍රතිඵලයක් ලෙසිනි. ප්‍රධාන පුහුණුකරු ශාස්ත්‍රිගේ කොන්ත්‍රාත් කාලය ලෝක කුසලානත් සමගින් අවසන් වූ නමුත් එය ඉදිරි මාසය දක්වා දීර්ඝ කර තිබෙන්නේ ලබන මස ඉන්දීය කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහාද ඔහුට අවස්ථාවක් ලබාදෙමිණි. ඒ වගේම ශාස්ත්‍රිගෙන් පුරප්පාඩුව තිබෙන ප්‍රධාන පුහුණුකාර තනතුර සඳහා යළිත් වරක් ඔහුට අයැදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවතින බවටද ඉන්දීය මාධ්‍ය සඳහන්කර සිටියි. නමුත් අනිල් කුම්බ්ලේ සමගින් වූවා සේ ශාස්ත්‍රි සමගිනුත් ඉදිරියේදී කෝලි එතරම් සුහදව කටයුතු නොකළහොත් ශාස්ත්‍රිට යළිත් වරක් පුහුණුකාර ධුරයට පැමිණීම හීනයක් වනවා නිසැකය. පුරප්පාඩුව පවතින සෙසු තනතුරු කෙසේ නමුත් ප්‍රධාන පුහුණුකාර ධුරය කෙරෙහි ඉන්දියාවේම වැඩි අවධානයක් යොමුවන කාරණයක් වී තිබෙයි. ශාස්ත්‍රී වෙනුවට ආදේශ කළ හැකි සෙසු පුහුණුකරුවන් කිහිප පළක් ගැනම ඔවුහු කතාවෙති. ඒ අතරින් 2011 වසරේ ඉන්දියාවට ලෝක කුසලාන දිනා දීමට ගුරුහරුකම් දුන් ගැරී කර්ස්ටන් වෙත ඔවුන්ගේ යළිත් වරක් අවධානය යොමු වී තිබෙයි. මීළගට ඔස්ට්‍රේලියාවේ ටොම් මූඩිද එම ලැයිස්තුවේ සිටියි. එංගලන්තයට ලෝක කුසලාන දිනාදුන් පුහුණුකරුවා වන ‌ට්‍රෙවෝ බේලිස්ද එළැඹෙන අළුබඳුන තරගාවලියෙන් පසු එංගලන්තයේ පුහුණුකාර දූරයෙන් ඉවත්වීමට තීරණය කිරීමත් සමගින් ඔහු කෙරෙහිද ඉන්දියාව සිය ඇස යොමුකර තිබෙයි තිබෙයි. හිටපු ඉන්දීය ආරම්භක පිතිකරු විරේන්ද්‍ර ශෙවාග්ද මෙම ලැයිස්තුවේ සිටියි. මීළගට එම ලැයිතුවේ හොඳම ආයෝජනයක් ලෙස දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනය. ඔහු මුම්බායි ඉන්දියන්ස් පිලට පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කළ වසර තුනෙන් දෙවතාවක්ම ශූරතාව දිනාදුන් පුහුණුකරුවාය. මේ වසරේ මුම්බායි පිලට අයි.පී.එල්. ශූරතාව දිනා දීමෙන් පසුව මුම්බායි නායක සේම ඉන්දීය පිලේ උප නායක රෝහිත් ෂර්මා කියා සිටියේ මහේල ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වීමට තරම් හැකියාව ඇති පුද්ගලයෙකු බවයි. ඒ විතරක් නොවෙයි වරෙක ඔහු එංගලන්තයේ විශේෂඥ පිතිකරණ පුහුණුකරුවෙකු වශයෙන් කැඳවා ඔහුගෙන් කණ්ඩායමට අවශ්‍ය සේවය ලබාගෙන තිබිණි. නමුත් ශ්‍රී ලංකාවට ඔහුව මතක් වූයේ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ඇරයුම් කළේ ඔහුට පිතිකරණ අංශය දියුණුකර ගැනීමට සහය ලබාදෙන ලෙසය. මුම්බායි ඉන්දියන්ස් පිල මෙවර අයි.පී.එල්. ශූරතාව දිනා ගැනීමේ රස්නය මැද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට එකවරම තමන්ව මතක්වීම ගැන මහේලගේ එතරම් ප්‍රසාදයක් නොවීය. එබැවින් ඔහු විසින් එය ප්‍රතික්ෂේපකර තිබුණි. ඉන්දියාවේ සේම අපේ රටේද ක්‍රීඩාව කරවන ඇත්තන්ගේ සූදානම බංග්ලාදේශ තරගාවලියෙන් පසුව ක්‍රිකට් පිලේ පුහුණුකරුවන් සියලු දෙනාව ඉවත් කිරීමටය. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ මේ සතියේ පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී ක්‍රීඩා අමාත්‍යවරයා පවා ඒ බව සඳහන්කර තිබුණි. හොඳයි හොඳයි කියා ලංකාවට ගෙන්වාගත් හතුරුව පළවාහැර මීළගට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වගකීම භාර දෙන්නේ කාටද යන්න උභතෝකෝටිකයකි. නමුත් මේ වන විට ඉන්දියාවේ ඇස මහේල වෙත යොමු හමාරය. ඉන්දීය පිලේ පුහුණුකරුවා වශයෙන් මහේලව පත්කරගතහොත්, බංග්ලාදේශයෙන් උස්සාගෙන හතුරුසිංහව මෙහෙ ගෙනාවා සේ මහේලව ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවනු ඇත. එනිසා අස්සයා පැන්නාට පසු ඉස්තාලය වැසීමෙන් පලක් නොවනු නිසැකය. ගයාශාන් විතානආරච්චි
 

More News..