brand logo

මහේන්ද්‍රන් ගෙන්වා ගන්න දින තුනකදී මම අත්සන් 21,000ක් ගැහුවා

02 June 2020

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකස් කරන ලද ලිපි ලේඛන සඳහා රාජ්‍ය නායකයා ලෙස තමාට දින තුනක් තිස්සේ ඊට අත්සන් විසිඑක්දහක් ගැසීමට සිදුවූ බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (01 වැනිදා) පොළොන්නරුව ප්‍රදේශ‍යේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය. හිටපු අගමැතිවරයා විසින් මහ බැංකුවේ අධිපති ලෙස සිංගප්පූරු ජාතිකයකු වන අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමට තමා දැඩි විරෝධය පළ කළත් ආණ්ඩුව පිහිටුවා සති දෙකකදී අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් අතර අර්බුදයක් හදාගත නොහැකි නිසා දැඩි අකමැත්තකින් ඊට තමා කැමැත්ත පළකළ බවද හෙතෙම පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය. මහ බැංකුවේ සිදුව ඇති වංචා සම්බන්ධයෙන් මා විසින් පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාව ඉතා සාර්ථකව ඒ කටයුතු කරගෙන ගියා. මම දන්න විදිහට නිදහසෙන් පසු ලංකාවේ එක් එක් ආණ්ඩු විසින් පත්කරන ලද ජනාධිපති කොමිසම් සභාවලින් මහ බැංකු මූල්‍ය වංචා සෙවීමට මම පත් කරපු ජනාධිපති කොමිසම තරම් රටේ මහජනතාව උගතුන්, බුද්ධිමතුන් සහ මාධ්‍යවලත් මේ තරම් කතාබහට ලක්වූ කොමිසම් සභාවක් නැති තරම්. ඒ නිසා ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සිට හිටපු ජනාධිපතිවරු මේ වෙනකල් පත් කරපු කොමිසම් සභාවලින් මා පත් කෙරූ කොමිසම් සභාවට ඉහළම ගෞරවයක් හිමි වුණා. ඒ මහ බැංකු වංචාව පිළිබඳ ජනාධිපති කොමිසම් සභා වාර්තාව මට භාර දුන්නා. බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සභාගත කරන්නත් ක්‍රියා කළා. අදත් ඒ වාර්තාව අන්තර්ජාලයේ තියෙනවා. ඊට පස්සේ මේ කොමිසම් සභා වාර්තාව මම භාර දුන්නා නීතිපති දෙපාර්තමේන්තුවට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවටත් ඒවා මම භාර දුන්නා. ඊට පස්සේ ඒ ආයතන ඉතාම හොඳින් ඒ පරීක්ෂණ කටයුතු කරගෙන ගියා. ඒ වාර්තාවේ නිර්දේශ කරලා තියෙනවා මේ වංචා හොයන්න වෝහාරික විගණනයක් කරන්න කියලා. උගතුන් බුද්ධිමතුන් හැම දෙනාටමත් අලුත් වචනයක් එකතු වුණේ මේ කොමිෂන් සභා සිදු කරන ලද වෝහාරික විගණන නිර්දේශ අනුව තමයි. ඒ සියලු කොමිසම් සභා වාර්තා 2017.12.30 වැනිදා මට භාර දුන්නා. ඒ සියල්ල පාර්ලිමේන්තුවේ සභාගත කළා. ඊට පස්සේ මම නීතිපතිවරයාට, මහ බැංකුවේ අධිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දීලා ඒ සියලු දෙනා හත් අට සැරයක් ගෙන්නලා මම කරපු ඉල්ලීම් මත තමයි වෝහාරික විගණනයක් සිදු කළේ . මම පත්කරපු කොමිසම්වල ප්‍රතිඵල අනුව තමයි අර්ජුන් ඇලෝසියස් ඇතුළු කණ්ඩායම රිමාන්ඩ් භාරයේ දීර්ඝ කාලයක් හිටියේ. ඒ නඩු අධිකරණයේ තියෙනවා. මේ පරීක්ෂණවලින් ප්‍රධාන වශයෙන් ඔප්පු වුණා අර්ජුන මහේන්ද්‍රන් මේ වංචාවල ප්‍රධාන වග උත්තරකරුවෙක් විදිහට. මට 2019 දී සිංගප්පූරුවේ සමුළුවකට යන්න සිදුවුණා. ඒ ගිය අවස්ථාවේ සිංගප්පූරු අගමැතිවරයා පෞද්ගලිකව හමුවෙලා මම කිව්ව අපි සියලු ලිපි ලේඛන මෙහෙට එවලා තියෙනවා. ඒ නිසා අර්ජුන මහේන්ද්‍රන් අපිට දෙන්න කියලා. ඒ කාලේ සිංගප්පූරු - ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමත් මම නැවැත්තුවා. ඒ කටයුතු ලංකාවට අහිතකර නිසා. ඉතින් අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න ගන්න දවස් තුනක් තිස්සේ අතේ දියපට්ට එනකල් අත්සන් 21000ක් මම ගැහුවා ජනාධිපතිවරයා විදිහට. මේ විදිහේ වැඩ කොටසක් මම කළ බව රටේ ජනතාව දැන ගන්න ඕනෑ. මගේ කාලේ කොමිසම් සභා පහක් පත් කළා. ඒ කොමිසම් සභා පහේම කටයුතු සාර්ථකව සිදු කෙරීගෙන යනවා. ඒ අතර ශ්‍රී ලංකා ගුවන් සේවා කොමිසම් සභා වාර්තාවත් මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අයගේ දැන ගැනීම සඳහා. මම පත් කරපු පස්වැනි කොමිසම් සභාව තමයි 2019.04.21 දා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමේ කොමිසම් සභාව. ඒ සම්බන්ධයෙන් මේ දිනවල අධිකරණයේ කටයුතු සිදුවන නිසා වැඩිය කතා කරන්නේ නැහැ. පාස්කු ප්‍රහාර කොමිසම් සභාව ඇරෙන්න අනිත් පත්කරපු සියලු වාර්තා මම ඉදිරිපත් කළා. ප්‍රසාත් සමන් - වැලිකන්ද/ ප්‍රියන්ත බණ්ඩාර - පොළොන්නරුව
 

More News..