brand logo

මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ජනතා ආණ්ඩුවක් බිහි කරනවා - ප්‍රසන්න

11 February 2019

උදා වූ මැතිවරණ වර්ෂය නිමා කරනුයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පන්නා දමා, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් බිහි කිරීමෙන් අනතුරුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. මේ වසර තුළ ජනාධිපතිවරණය හා පළාත් සභා මැතිවරණය අනිවාර්යෙන්ම පැවැත්වෙන බව පැවසූ රණතුංග මහතා එම ඕනෑම මැතිවරණයකින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමේ හැකියාව මහින්ද මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන පෙරමුණට ඇති බවත් අවධාරණය කළේය. රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසනයේ කාන්තා බලමණ්ඩල රැස්වීමට මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී 09 වැනි දා සහභාගී වෙමිනි. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය. මේ උදා වෙලා තියෙන්නේ මැතිවරණ වර්ෂයක්. මම එහෙම කියන්නේ මේ වර්ෂය තුළ ජනාධිපතිවරණයක් මෙන්ම පළාත් සභා මැතිවරණයකුත් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු නිසයි. එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට බියෙන් මොන දහංගැට ගැහුවත් මේ වර්ෂය තුළ කිනම් හෝ මැතිවරණ්‍යක් පැවැත්වීම නතර කරන්න බැහැ. පළාත් සභා කිහිපයක් දැන් විසුරුවා හැරලා අවුරුදු දෙකකට කිට්ටුයි. තවත් පළාත් සභා තුනක් අප්‍රේල් මාසයේ විසිරෙනවා. කට ඇරියොත් ප්‍රජාතන්ත්‍රවාදය ගැනම කියවන එක්සත් ජාතික පක්ෂයේ අයියලා ටික මැතිවරණ කිව්ව ගමන් වෙව්ලන්න ගන්නවා. බැංකු හොරු, කම්බා හොරුන්ගේ හැටි ජනතාව දන්න නිසා යූ. ඇන්. පිය ඡන්දවලට බය වෙන එක සාධාරණයි. ලංකාවම හොල්ලන් හිටියයි කියන පාතාලයෙක් ඩුබායිවල දී අල්ල ගත්තා කියලා රනිල් වික්‍රමසිංහ නඩය පහුගිය දවස්වල උඩ පනිනවා දැක්කා. හැබැයි ඒ පාතාලයා අල්ලන මෙහෙයුමට උපදෙස් දීලා තියෙන්නේ ජනාධිපතිවරයලු. මම දැක්කා ජනාධිපතිවරයා පහුගිය දවසක පොළොන්නරුවේ පැත්තෙදි කියනවා අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න හදන්න එපා කියලා. එහෙම කියන්න ඇත්තේ රනිල්ලා, කිරිඇල්ලා මධූෂ්ගෙන් ලකුණු දාගන්න උත්සාහ කරපු නිසා වෙන්නැති. අනුන්ගේ වැඩවලට ලකුණු දාගන්න එක එක්සත් ජාතික පක්ෂයට අලුත් දෙයක් නෙ‍මෙයි. එ. ජා. පය හැමදාම කළේ ඕක තමයි. මහින්ද මහත්තයා හදපු අධිවේගයට, පාලම්වලට, නෙළුම් කුළුණට නම දාගන්න එක තමයි එ. ජා. ප ප්‍රතිපත්තිය. පාතාලය ලංකාව පුරා පැතිරුණේ එ. ජා. ප ආණ්ඩුව කාලයෙයි. 2015 වෙනකම් ලංකාවේ එක පාතාලයෙක් හිටියේ නැහැ. ඔය මධුෂ්ලා වගේ සිඟිති පාතාලයෝ සේරම හිටියේ රට පැනලා. ‍ලෝකෙම හොල්ලපු ප්‍රභාකරන්වත් ඉවර කරපු ගෝඨාභයට අහු වුණොත් ‍වෙන දේ දන්න නිසයි පාතාලයෝ ටික රට පැන්නේ. හැබැයි 2015 යහපාලන ආණ්ඩුව ආවා විතරයි පාතාලයෝ ටික සේරම ලංකාවට ආවා. ආපහු රටේ පාතාලය නැගිට්ටා. ඇමැතිවරුන්ගේ පෙලපාලිවලදිත් පාතාලයෝ වෙඩි තියා ගත්තා. ඔන්න ඕකට තමයි එ. ජා. පය යහපාලනය කියන්නේ. අද පාතාලයන් ඇමැතිවරුන්ගේ ‍සුරතලුන් ‍වෙලා මහජනතාව බල්ලො බළල්ලු ගාණට මරලා දානවා. මේ අවුරුදු හතරට රට අපායක් බවට පත් කිරීමේ වගකීම රනිල් වික්‍රමසිංහ ඇතුළු එ. ජා. ප නඩය භාර ගන්න ඕනේ. මේ නඩයට රට හදන්න පුළුවන්කමක් නැති බව දැන් ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා අපි මේ වැඩබැරි ආණ්ඩුවට කියන්නේ හොඳ හිතින් ගෙදර යන්න කියලයි. එහෙම නැත්නම් තව වැඩි දිනක් යන්න ඉස්සර අපි ආණ්ඩුව ගෙදර යනවා.
 

More News..