brand logo

මහින්ද මුදල් ලේකම්ට තග දායි

18 November 2021

අපේ මන්ත්‍රිවරුන්ට බලපෑම් කරන්නේ උඹලට ඕනේ විදිහටද අපි ආණ්ඩුව කරන්න ඕනේ

1994 වසරේදී බලයට පත්වූ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව සිය මංගල අයවැය සකස් කිරීම සඳහා අවශ්‍ය අදහස් ලබා ගැනීමට එවක ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් ජනාධිපති මන්දිරයට කැඳවා තිබුණාය. ඒ මංගල අය වැයෙන් ඩීසල් වාහන සඳහා විශේෂ බද්දක් පනවන බව එවක මුදල් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට පැවසුවේය. ඩීසල් වාහන සඳහා විශේෂ බද්දක් පැනවීමෙන් මධ්‍යම පාන්තික ජනතාව අමාරුවේ වැටිය හැකි බව එවක කම්කරු අමාත්‍යවරයා වූ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කේන්තියෙන් කීවේය. ‘‘ඩීසල් වාහනවලට බදු ගැහුවාම අමාරුවේ වැටෙන්නේ මේ රටේ ඩීසල් වාහනවලින් බඩු ගෙනියන, ස්කූල් හයර් කරන ගමේ කඩේට බඩු අදින්න වාහන පාවිච්චි කරන අය. මේ වෙන කොට පන්සල්වලත් වැඩිපුරම පාවිච්චි කරන්නේ ඩීසල් වාහන. ඒ හින්දා ඩීසල් වාහනවලට විශේෂ බද්දක් ගැහුවාම අමාරුවේ වැටෙන්නේ අපිට ඡන්දෙ දුන්න පොඩි මිනිස්සු. මතකද යූ.එන්.පී. ආණ්ඩුව කාලෙත් මේ යෝජනාව ගෙනාවාම ඇතිවෙච්ච උද්ඝෝෂණ. ඒ හින්ද මේ යෝජනාව ගේනවට කවුරු කැමැති වුණත් මම නම් එක හෙළාම විරුද්ධයි. කම්කරු ඇමැති මහින්ද කේන්තියෙන් එසේ කියද්දී ජනාධිපතිනි චන්ද්‍රිකා මහින්ද රාජපක්ෂ දෙස බලා සිටියේ කරකියා ගත නොහැකිවය. සාකච්ඡාව නිමාවී මුදල් අමාත්‍ය ජී.එල්. පීරිස් ඇතුළු ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ජනාධිපති මන්දිරයෙන් පිටව යමින් සිටියහ. එවක මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ ඒ.එස්. ජයවර්ධන ජනාධිපති මන්දිරයෙන් එළියට එමින් සිටි ජී.එල්. පීරිස් ඇමැතිවරයා නතර කර ගනිමින් ඔහුට නොසෑහෙන ලෙස දොස් නගමින් සිටියේය. ‘‘ඇමැතිතුමා ගමේ ගොඩේ මුදලාලිලා පරිස්සම් කරන්නද හදන්නේ’’ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට අවශ්‍ය වූයේ කෙසේ හෝ පොදුජන එක්සත් පෙරමුණේ මංගල අයවැයට ඩීසල් වාහන සඳහා විශේෂ බද්ද පැනවීමටය. ඒ අසලින් යන්නට ආ කම්කරු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දෙදෙනාගේ වාදය ඇසුණේය. ගමේ ගොඩේ මුදලාලිලා පරිස්සම් කරන්න හදන්නේ ඇයිදැයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍ය ජී.එල්. පීරිස්ගෙන් තදින් අසනවා මහින්ද රාජපක්ෂ ඇමැතිවරයාට ඇසුණි. මහින්ද රාජපක්ෂ ඇමැතිවරයා මුදල් අමාත්‍යාංශ ලේකම් ඒ. එස්. ජයවර්ධනගේ ටයි පටියෙන් අල්ලා සොලවමින් ඔහු වෙත ඇද ගත්තේය.

‘‘උඹ කොහොමද ඡන්දෙන් පත්වෙලා ඉන්න අපේ මන්ත්‍රිවරුන්ට බලපෑම් කරන්නේ උඹලට ඕනේ විදිහටද අපි ආණ්ඩුව කරන්න ඕනේ.’’

ජී.එල්. පීරිස් ඇමැතිවරයා සහ තවත් මැති ඇමැතිවරුන් පිරිසක් ඒ.එස්. ජවර්ධනව බේරා ගත්තේ මහත් වෑයමකිනි. එදායින් පසුව විශේෂ ඩීසල් වාහන බද්ද පිළිබඳව කිසිදු කතාබහක් නොවීම විශේෂත්වයක් විය. අරුණ පොලිටික්ස්
 

More News..