brand logo

මහින්ද පොහොට්ටුවේ නායකයා වූ පසු ජනපති අපේක්ෂකයා ගැන ප්‍රකාශයක්

09 August 2019

එළැඹෙන එකොළොස් වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම සංවත්සරයේදී පක්ෂ නායකත්වය හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට භාර කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පැවසීය. ඉන් පසුව ඉදිරි ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න පක්ෂ නායකත්වය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන බවද ඒ මහතා කීවේය. බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කළේ සම්මේලනය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹ කිංග්ස්බරි හෝටලයේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදීය. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කරන බවට වන ප්‍රචාරය පිළිබඳව මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ, එසේ වනු ඇතැයි පෞද්ගලිකව තමන් විශ්වාස කරන නමුත් අපේක්ෂකයා නම් කිරීමට පක්ෂ නායකත්වයට ඇති අයිතිය තමන් භාර නොගන්නා බව කීවේය. ගෝඨාභය රාජපක්ෂ දරුණු පාලකයෙක් බවට ඇතැම් අය පළකරන අදහස් පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසුමේදී බැසිල් රාජපක්ෂ සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ එසේ නොවන බවට තමන්ට සහතික විය හැකි බවයි. ජනතාව අපේක්ෂා කරන්නේ හොඳ කළමනාකාරීත්වයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටක්, ජනතාවත් ආරක්ෂ කළ හැකි නායකත්වයකට යැයිද දූෂණය භීෂණය නොමැති හොඳ පරිවර්තකයකුට යැයිද බැසිල් රාජපක්ෂ කීවේය. එම ගුණාංගයන් ගෝඨාභය රාජපක්ෂට තිබේ දැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ, ‘පෞද්ගලිකව මම ඒබව හිතනවා. හිටපු ජනාධිපතිවරයා තවත් අය ගැන හිතනවත් ඇති’ යනුවෙනි. නිලන්ත මදුරාවල
 

More News..