brand logo

මහින්ද කරන කොට හරි වෙන දේ අපි කරන කොට වැරදි වෙන්නේ කොහොමද?

08 April 2019

වරාය දියුණු කරන සැලසුම් මොනවද? ප්‍රමාද වූ සැලසුම් වේගයෙන් ක්‍රියාත්මක කරනවා. වරාය දියුණු කරන්න අවශ්‍ය නිවැරදි තීන්දු තීරණ නිසි වෙලාවට ගන්න ඕනේ. වැරදි තීන්දුවක් නිසි වෙලාවට අරගෙන වැඩක් නැහැ වගේමයි නිවැරදි තීන්දුව වැරදි වෙලාවක අරගත්තත් වැඩක් නැහැ. අපේ තීන්දු තීරණ පමාවීම නිසා වරාය ක්ෂේත්‍රයේ යම් ප්‍රමාදයක් ඇවිත් තියෙනවා. මුලින්ම කරන්න ඕනේ තීන්දු තීරණ වේගයෙන් ගැනීම. නාවික ක්ෂේත්‍රයේ පිහිටීම නිසා අපේ අපනයන, ආනයන විතරක් නොවේ වෙනත් බහාලුම්වලටත් අපේ ජේසීබී පර්යන්තය උපයෝගි කර ගන්නවා. ඒ කාලයේ තිබුණු පර්යන්තවලට දැන් ලොකු නැව් එන්න බැහැ. ගැඹුර මදි නිසා. එක් පර්යන්තයකට විතරයි විශාල නැව්වලට එන්න පුළුවන්. ඒත් අනිත් පර්යන්ත අයින් කළ යුතු නැහැ. අපි දැන් ඉන්නේ බහාලුම් මිලියන 7 ක. මේ මිලියන 7 ධාරිතාව අපට වැඩිකරගන්න බැහැ, අනිත් පර්යන්ත පටන් නොගෙන. එහෙම නැතිව වැඩ කරන්න ගියොත් සෑම පැත්තකින්ම දැඩි පීඩනයකට අසුවෙනවා. ඒ නිසා අපි නැගෙනහිර පර්යන්තය ඉතා ඉක්මනින් පටන්ගත යුතුයි. වරාය සම්බන්ධයෙන් විපක්ෂයේ චෝදනා රැසක් තියෙනවා? විපක්ෂය කියනවා අපි හම්බන්තොට වරාය දුන්නලු. 1999 මුල්ම වරාය දෙනකොට බලයේ හිටියේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. 2011 වසරේ වරාය දෙනකොට බලයේ හිටියේ මහින්ද රාජපක්ෂ. එදා හම්බන්තොට දුන්නේ සියැට් පෝට් කියන සමාගමට. අපි ආපහු ඒ සමාගමටම 2017 දී වරාය දෙනකොට විතරක් ඒක වැරදි වෙන්නේ කොහොමද? මගේ වැය ශීර්ෂය වේලාවේදී කළ චෝදනා සියල්ල පදනම් විරහිතයි. වරායක් හදපු එක වැරදියි කියන තැනට අපි එන්න ඕනේ නැහැ. නමුත් වරාය හදලා ඉවර වෙනකොටම ඊට සමගාමීව අනිත් වැඩපිළිවෙළත් තියෙන්න ඕනේ. වරාය ඉදිවෙලා ඉවර වෙනකොටම කර්මාන්ත පුරයත් ඉදිවෙලා ඉවර වෙන්න ඕනේ. එතකොට තමයි ජනතාවට බර පැටවෙන්නේ නැතිව වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක වුණේ නැහැනේ. නමුත් අපි කර්මාන්තපුරය ඉදිකරන්න හදනකොටත් කරන්නේ මොකක්ද? පාරට බැහැලා ඒ වැඩ ටික නතර කරන්න කටයුතු කරනවා. ඉතිං කාටද මේකෙන් පාඩුව. මේ පාඩුව රටට. ණය ටික ගෙවාගන්න සල්ලිත් නැහැ. රැකියා අවස්ථා ටික එන්නෙත් නැහැ. අපරාදෙනේ. මේවා තමයි අපි නවත්වන්න ඕනේ. මහින්ද රාජපක්ෂ කරද්දී හරි කියන දේ අපි කරනකොට වැරදි වෙන්න බැහැ. අපි කරද්දී හරි කියන දේ ඒ ගොල්ලන් කරද්දී වැරදි වෙන්නත් බැහැ. අපි හැමවිටම දෙයක් කරනකොට රටට හරියන විදිහට ඒ දේ කළ යුතුයි නේද? නාවුක අමාත්‍යාංශය සම්බන්ධයෙන් ඔබ ගන්නා නව ක්‍රියාමාර්ග මොනවාද? විශේෂයෙන්ම නැගෙනහිර පර්යන්තයේ වැඩකටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ඊළඟට අනිත් වරායවල් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන බලනවා. ගාලු වරාය සංචාරක කර්මාන්තයත් එක්ක සමගාමීව සංවර්ධනය කරනවා. එතකොට පොඩි මිනිසුන්ට විශාල වශයෙන් ආදායමක් ලබන්න පුළුවන්. ඕලුවිල් වරාය තමයි හොඳම උදාහරණය. අපේ රටේ දේශපාලනඥයන්ගෙත්, ඉංජිනේරුවන්ගෙත් මෝඩ වැඩවලට. ඒක අද මහා වැලි ගොඩක් විතරයි. ඛාදනය වීම නවත්තන්න බැහැ. ගමේ මිනිස්සුන්ගේ රැකියා අහිමි වුණා. අවුරුද්දකට ඩොලර් මිලියන 5 ක්, 6 ක් යනවා වැලි ටික අයින් කරන්න විතරක්. ඒත් අයින් කරන ගානටම ආපහු හේදිලා එනවා. ත්‍රිකුණාමලය වරායත් දියුණු කරන්න කටයුතු කරගෙන යනවා. ඒකත් පැය 24 ම දුවන්න පුළුවන් වරායක් කරන්න අවශ්‍ය ණය ජපානයෙන් අපට ලැබෙනවා. කර්මාන්තපුරය සංවර්ධනය කිරීමත් ඒත් එක්කම සිදු කරනවා. ඒ දෙකම නිවැරදිව සංවර්ධනය කරන්න අවශ්‍ය දේ ගැන අපි අධ්‍යයනයක් සිදු කළා. යාපනය වරාය දියුණු කරන්න ඉන්දියාවෙන් අපට ණය ආධාර ලැබෙනවා. ඒකත් අපි ඉක්මනින්ම සංවර්ධනය කරනවා. එතැනින් අපට ප්‍රවාහනය විතරක් නෙවෙයි, තවත් වාසි රැසක් හිමිවෙනවා. දඹදිව වන්දනා ගමන් වුණත් රුපියල් 40,000 ක විතර අඩුවෙන් කරගන්න පුළුවනි. ප්ලේන් එකක ඉන්දියාවට යනකොට කිලෝ 30 යි ගේන්න පුළුවන්. මේ විදියට නම් කිලෝ 100 ක් වුණත් ගේන්න පුළුවන්. මේවා මිනිසුන්ට විශාල සහනයක් වන දේවල්. සාරි වුණත් අඩු මිලට ගන්න පුළුවන්. දක්ෂිණ සංවර්ධනය තුළ බොහෝ දේ කළ හැකියි. නමුත් කිසිවක් වෙන පාටක් නැහැ? අපට තවම ඒකට පනතක් නැහැ. දත් නැති එක්කෙනෙක් වගේ. රුහුණු සංවර්ධනය ගැන එතකන් අපට මුකුත් කරන්න බැහැ. මමත් හරි කනගාටුවෙන් ඉන්නේ. අපි නිකන් බෝඩ් ලැල්ලක් විතරයි. ඒකට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබුණත් තවම කැබිනට් එකට එවන්න ප්‍රමාදයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය වැටිලද? ළඟකදී හාමුදුරු නමකුත් මේ ගැන ප්‍රකාශයක් කළා? නැහැ. අපි යම්කිසි වැඩපිළිවෙළකට කටයුතු කරගෙන යනවා. ඒ වැඩපිළිවෙළ තුළින් රට දියුණු වීමත්, ජනතාව ආරක්ෂා වීමත් සිදු වෙනවා. එකම දේ තියෙන්නේ පළමුවැනි අවුරුදු තුන ආණ්ඩුව ගෙනයන ආකාරයටම අන්තිම අවුරුදු දෙකේ ආණ්ඩුවකට යන්න බැහැ. ඡන්දයක් ළං වෙනකොට අපිට පොඩි කරදරයකුත් වුණානේ ඔක්තෝබර්වල. අපේ ප්‍රතිපත්ති ඡන්දයක් ළං වුණත් වෙනස් කරන්නේ නැතිව රටේ දියුණුව වෙනුවෙන් කරගෙන යනවා. නමුත් ඡන්ද අවුරුදුවල සමහර දේවල් ලිහිල්වම කරගෙන යනවා ජනතාව ආරක්ෂා කර ගනිමින්. නමුත් දීර්ඝකාලීනව අපි බලන්නේ මිනිසුන්ගේ කොඳුඇට පෙළ කෙළින් තියාගෙන ශක්තිමත්ව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් සකස් කරන්න. එතැනදී අපි ගන්න තීන්දුවලට මිනිස්සු අවුරුදුවල කැමැති නැතිවේවි. නමුත් පසුකාලීනව ඒ අයට ලොකු ශක්තියක් ගොඩනැගේවි ඒ තීන්දුවලින්. රජයේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීම කුඩා ව්‍යාපාරිකයන් බිහිකර ගැනීම, ඒ ව්‍යාපාරිකයන් පසු කාලීනව ලොකු ව්‍යාපාරිකයන් බවට පත්වීම වගේ තත්ත්වයට අපි යන්න ඕනේ. පක්ෂය තුළ බල අරගලයක් තිබෙන බවක් පෙනෙනවා? එහෙම තිබුණු කාලවල් තිබුණා. මේ වෙලාවේ නම් එහෙම දෙයක් පේන්න නැහැ. ජනාධිපති අපේක්ෂකයෝ කී දෙනෙක් පක්ෂය ඇතුළෙ ඉන්නවද? ඒ අපේ පක්ෂයේ නෙමෙයි නේද? ඔය, පක්ෂය වරද්දගෙන වගේ. දැනට අපේ පක්ෂයෙන් කවුරුත් නම් කරලා නැති වුණාට එක අපේක්ෂකයෙක් ගැන තමයි අපි හැමෝම අදහසක් තියාගෙන ඉන්නේ. අවශ්‍ය වෙලාවෙදි අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. චම්පිකගේ වැය ශීර්ෂය පැරද්දුවේ ඇයි? මම අවංකවම හිතන්නේ ඒක හිතාමතා කළ දෙයක් නොවේ. මමත් 6.40 වනතුරු පාර්ලිමේන්තුවේ හිටියා. සාමාන්‍යයෙන් 6.20 වෙනකොට වැය ශීර්ෂය ගන්නවා. 6.30 වෙද්දී කල් තැබීමේ විවාදයට යනවා. නමුත් මේක විපක්ෂය හදිසියේම සැලසුම් කළ දෙයක්. අපිත් මේ වගේ දෙයක් බලාපොරොත්තු වුණේ නැති නිසා ඒකේ ප්‍රයෝජනය විපක්ෂය ගත්තේ. විවාදයේදීවත් ගැටුම්කාරී තත්ත්වයක් කිසි අවස්ථාවක තිබුණේ නැහැ. ඡන්දය පැරැද්දුවා කියන පසුපෙළ මන්ත්‍රීවරුන්ට විරුද්ධව කටයුතු කරනවද? ඒක මම කතා කරන එක වැරදියි. පක්ෂයක් හැටියට කතා කරද්දී ඇතුළෙ ගැටලු කතා කරන විදිහක් තියෙනවා. නමුත් එළියේදී අපි එක මතයක් දැරිය යුතුයි. එහෙම දෙයක් තියෙනවා නම් පක්ෂය ඇතුළෙන් ඒ ගැන සාකච්ඡා කරාවි. තවම එහෙම තත්ත්වයක් ගැන දැනගන්න නැහැ. ඔබ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී. ඇයි රෝසි සේනානායකව ඉවත් කළේ? ඉවත් කළේ නැහැ. ඇය ඊට වඩා ඉහළ තනතුරකට ගියා. දැන් ඇය පුරපතිනියක්නේ. පුරපති තරගයට ඉදිරිපත් වෙන්න කලින්ම ඇය එම තනතුරින් ඉවත් වුණා. මමත් පසුගිය මැතිවරණයේ දී අපේක්ෂකත්වයට අත්සන් කළ වෙලාවේදී කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරින් ඉවත් වුණා. විමල් වීරවංශ කියන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කියන ඇමෙරිකන් සමාගම මොකක්ද? මම දැක්කා ඔය ගැන ලියුමක් සමාජ මාධ්‍ය ජාලයක තියෙනවා. මම කියන්නේ ඒක වැරදි තොරතුරක්. ඒ ලියුමේ කව්දෝ අත්සන් කරලා තියෙනවා. නෝර්ත් වින්ග් එකක් කියලා. අපේ අරලියගහ මන්දිරයේ නම් එහෙම එකක් නැහැ. අලුත් ගොඩනැගිල්ලේ වුණත් එහෙම තැනක් තියෙන්න බැහැ. ඒක තියෙන්නේ මුහුද පැත්තෙ හෝ අනිත් පැත්තෙ. මුහුද පැත්ත නම් බටහිර. අනිත් පැත්ත නම් නැගෙනහිර වෙන්න ඕනේ. ඉතිං මම දන්නේ නැහැ උතුරක් ගැන. ඕකත් විමල් වීරවංශට උපන් දින දෙකක් තියෙනවා වගේ වැඩක් ද දන්නේ නැහැ. ඔබ රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රචාරක කටයුතුවල කළමනාකරුද? ඒක වැරදියි. එහෙම පත්වීමක් මට නැහැ. එතුමාගේ ප්‍රචාරක කටයුතු කරන මැනේජර් එතුමා තෝරා ගනීවි. නමුත් මම පැහැදිලිව දන්නවා ඒ මම නෙමේ කියලා. ඒකට සුදුසු කෙනෙක් ඔහු පත්කර ගනීවි. ආණ්ඩුව දවසින් දවස පිරිහෙනවා නේද? ඒක නම් මම පිළිගන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඕනෑම ආණ්ඩුවකට ජනතාව බණිනවා. අපි වැරදි නැහැ කියලා කියන්නේ නැහැ. සමහර තැන්වල අපේ වැරදිත් තියෙනවා. නමුත් අපේ වැඩපිළිවෙළ සමස්තයක් හැටියට ගත්තාම රටකට හොඳ වැඩපිළිවෙළක්. අරමුණු හොඳයි. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් වැඩ කරගෙන යනවා. ගැටලු තියෙන්න පුළුවන්. පක්ෂ දෙකක නායකයෝ වුණාම ගැටලු මතු නොවෙන්නත් බැහැනේ. පක්ෂ දෙකේ අදහසුත් සම්පූර්ණයෙන්ම වෙනස්. මේ එකතු වුණේ රට වෙනුවෙන්. අවුරුදු 4 ක් ගැටලු මැද වුණත් ආණ්ඩුව කරගෙන ඇවිත් තියෙනවා. අඩුපාඩු හදාගන්න ඕනේ. නමුත් සමස්තයක් හැටියට අපි කරගෙන යන වැඩ හොඳයි. ‘කරුවල’ ආණ්ඩු වට්ටන්න පවා සමත්වෙලා තියෙනවා. මොනවද මේ ගැන රජයක් හැටියට කියන්න පුළුවන්? විදුලිබල නියෝජ්‍ය ඇමැතිකමක් මමත් දැරුවා. මමත් විදුලි ඇමැති වුණේ කරුවල කාලයක. මේ විදුලි ක්ෂේත්‍රයේ සෑම විටම ප්‍රමාදයන් තිබිලා තියෙනවා. ක්ෂේත්‍රය තුළ නිසි තීන්දු, නිසි වේලාවට ගන්නේ නැති වුණාම තමයි මේ දේ වෙන්නේ. මේක නිවැරදි කරගන්න පුළුවන් දෙයක්. නමුත් මේ වගේ හිරවුණු වෙලාවක නිවැරදි කරගන්න ගියාම රටටත්, ජනතාවටත් මහා පීඩනයක්, තවත් අතකින් වියදමක් වගේ පාඩුවකුත් සිදුවෙනවා. ආණ්ඩුව කොහොම කීවත් රටේ ආර්ථිකය කඩා වැටිලා නේද? ජනතාවගේ අතේ සල්ලි නැති ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. මොකක්ද මේකට හේතුවුණේ. අපි රටක් වශයෙන් දියුණු වෙනකොට පාරවල් හැදෙනකොට බයිසිකලයකින් ගිය කෙනා කාර් එකක් ගන්නවා. රජයේ සේවකයන්ගේ පඩි වැඩි වුණා. ත්‍රීවිල් එකේ ගමන් ගිය කෙනා තමන්ටම ත්‍රීවීල් එකක් ගන්නවා. ත්‍රීවීල් එකක් තිබුණු එක්කෙනා පොඩි කාර් එකක් ගන්නවා. පොඩි කාර් එකක් තිබුණු කෙනා ලොකු කාර් එකක් ගන්නවා. මෙහෙම වෙනකොට කලක් ගෙවූ ලීසිං මුදලට වඩා වැඩි ලීසිං මුදලක් ගෙවිය යුතු වෙනවා. මෙතැනදී වෙන්නේ පඩිය වැඩිවුණාට ඒ වැයවෙන මුදල එක තැනක හිරවෙනවා. අනිත් පැත්ත බලනකොට දැන් හැමදෙනා ළඟම ක්‍රෙඩිට් කාඩ්පත් තියෙනවා. මේවායින් ගෙවීමේ ක්‍රමයට හැම දෙයක්ම ගන්න පුළුවන්. ඒකටත් මුදල් තියෙනවා. ඒ වගේම ටියුෂන් පන්ති සංස්කෘතියකුත් දැන් ඇතිවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ළමයි දෙන්නෙක් ඉන්න පවුලකට ටියුෂන්වලට විසිදාහක් විතර අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මෙතැනටත් සල්ලි හිරවෙනවා. මෙහෙම වෙනකොට තමයි වියදමට අතේ සල්ලි නැති වෙන්නේ. එතකොට තමයි ආණ්ඩුව එක්කත් තරහා වෙන්නේ. දීප්ති ප්‍රමිතා අධිකාරි
 

More News..