brand logo

මහින්දානන්දට විදෙස් ගතවීමට අධිකරණයෙන් තාවකාලික අවසරයක්

16 December 2019

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය මගින් කැරම්බෝඩ් 14000ක් හා සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කර දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි 5 කට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී සිටින රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට විදේශගත වීම සඳහා පනවා තිබෙන තහනම තාවකාලික ලෙස ඉවත් කරන මෙන් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඊයේ(16) නියම කළේය. ආර්.ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නියෝග නිකුත් කරනු ලැබීය. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තම සේවාදායකයාට මේ මස 26 වනදා තෙක් සිංගප්පූරුවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍යව ඇති බැවින් දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාල සීමාව තුළ ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකාර අමාත්‍යවරයාට දැනට අධිකරණය මගින් පණවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාල සීමාව සඳහා තාවකාලිකව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළහ. මෙම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටින නලින් ප්‍රනාන්දු මහතාට ද විදේශ ගතවීමට අවශ්‍යව තිබෙන බව ඔහුගේ නීතිඥවරු කළ දැනුම්දීම පිළිගත් අධිකරණය ඔහුටද ලබන ලබන 25 වන දා සිට ජනවාරි මස 01 වනදා තෙක් විදේශගත කිරීමට ද අවසර ලබාදුන්නේය. නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් එය ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තියේ නීතිඥවරු විසින් මූලික විරෝධතා මතු කරන ලදී. එම මූලික විරෝධතා පිළිබඳ නියෝගය ජනවාරි මස 31 දා ප්‍රකාශයට පත් කරන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරනු ලැබීය. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ සතොස ආයතනය හරහා දේශපාලන ක්‍රියාකාරකම් වෙනුවෙන් බෙදාහැරීමේ අරමුණින් කැරම්බෝඩ් 14000ක් සහ දාම් 11000 ක් ආනයනය කර ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීම තුළින් රජයට රුපියල් කෝටි පහකට ආසන්න පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මෙම නඩුව ඉකුත් රජය සමයේ ගොනුකර තිබුණි. (අධිකරණ වාර්තාකරු)
 

More News..