brand logo

මහින්දානන්දට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩුවක් අවසන්

27 August 2019

පසුගිය ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනයෙන් මගින් ආනයනය කරනු ලැබූ කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම් වලට බෙදා දීම තුලින් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන විත්තිකරුවන්ට එරෙහිව දැනටමත් කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති හෙයින් ඊට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කිරීමට අද (27) තීන්දු කෙරුණි. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට එරෙහිව දැනටමත් කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති හෙයින් මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින මෙම නඩු කටයුතු අවසන් කරන ලෙස ඉල්ලීමක් කළහ. එම ඉල්ලීම පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩු කටයුතු අවසන් කිරීමට තීන්දු කළ අතර කොළඹ විශේෂ මහාධිකරණයෙන් සිතාසියක් ලැබුණු විට එම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විත්තිකරුවන්ට දැනුම් දුන්නාය. 2014 වසරේ සැප්තැම්බර් මස පල වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම පැමිණිල්ල මගින් චෝදනා එල්ල කර තිබූණි. (අධිකරණ වාර්තාකරු)
 

More News..