brand logo

මහින්දානන්දගේ නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වනදා

28 October 2019

ඉකුත් රජය සමයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මස 16 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (28) නියෝග කළේය. නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර මහින්දානන්ද අලූත්ගමගේ මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී විනිසුරුවරයා නියෝග කර සිටියේ මෙම නඩුව ජනවාරි මස 16 සහ 17 යන දිනවල විභාගයට ගන්නා බවයි. එදින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද සාක්ෂිකරුවන්ට විනිසුරුවරයා විසින් අවවාද කළේය. ඉකුත් රජය සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකර කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ. මේ අතර ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම සමිතියට අයත් රුපියල් ලක්ෂ 37 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන තවත් නඩුවක් පෙබරවාරි මස 17 වන දා වැඩිදුර විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඊයේ නියෝග කළේය. එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් හය දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් විනිසුරුවරයා විසින් සිතාසි නිකුත් කිරීමට ද නියෝග කරන ලදී. අධිකරණ වාර්තාකරු
 

More News..