brand logo

මහින්දානන්දගේ නඩුවක වැඩිදුර විභාගය කල්යයි

17 February 2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ඊට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනුකර තිබූ නඩුවක වැඩිදුර විභාගය ජුනි මස 22 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (17) නියෝග කළේය. මෙම නඩුවේ වැඩිදුර විභාගය අද පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් වෙනත් නඩුවක් අද දින විභාගයට ගැනීමට නියමිතව තිබූ හෙයින් මෙම නඩුවේ විභාගය ජුනි මස 22 වනදා සහ 23 වනදාට කල් දමන බව මහාධිකරණ විනිසුරුවරයා නිවේදනය කළේය. මෙම නඩුව අද දින කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංගසය නැමැති වෘත්ති සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි. මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය. විත්තිකාර අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ කාංචන රත්වත්තේ මහතා සමඟ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා පෙනී සිටියේය.   (අධිකරණ වාර්තාකරු)
 

More News..