brand logo

මහාධිකරණ නියෝගයට එරෙහිව රාජිතගෙන් අභියාචනයක්‍

14 May 2020

සුදුවෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ලබාදුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය දුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට අද (14) පෙත්සමක් ඉදිරිපත් කර ඇත. ඒ රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරුන් විසින්. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට නිරෝධායනය සඳහා මීගමුව පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානයේ රඳවා සිටියේය. ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුවට අදාළව එහි තෙවන සැකකරු වන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉකුත් දෙසැම්බර් මස 30 වන දින නියෝග කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා විසින් ප්‍රතිශෝධන පෙත්සමක් කොළඹ මහාධිකරණ හමුවේ ගොනු කරනු ලැබුවේය. අදාළ ප්‍රතිශෝධන පෙත්සමෙහි තීන්දුව ඊයේ (13) පෙරවරුවේ ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් රාජිත සේනාරත්න ඇප මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය කර තිබූ නියෝගය අවලංගු කරනු ලැබුවේය. මහාධිකරණ නියෝගයට අදාළව සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පියවරගන්නා ලෙස විනිසුරුවරයා නියෝග කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. එවන් පසුබිමක හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ පස්වරුවේම සිය නීතිඥවරුන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර විය. පසුව ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විමසුවේ සැකකාර හිටපු අමාත‍්‍යවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුවන්නේද යන්නයි. ඊට පිළිතුරු දුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීනිය සදහන් කළේ මහේස්ත්‍රාත්වරිය විසින් ලබාදුන් නියෝගයේ සදහන් වන්නේ සැකකාර රාජිත සේනාරත්න මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බැවින් ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදුනොකළ අතර නීතිඥවරුන් හරහා අධිකරණයට ඉදිරිපත් කළ බවයි. එහිදී පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ මෙම අවස්ථාවේ අදාල නීති කෘත්‍යය කැදවනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දෙසැම්බර් 30 වනදින මෙම සැකකරුට ඇප ලබාදෙමින් නිකුත් කර තිබු නියෝගය අවලංගු කරමින් මහාධිකරණය විසින් කළ ප්‍රතිශෝධන නියෝගයට අනුව බවයි. එබැවින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ පිටු 17කින් සමන්විත අදාල නියෝගය හොදින් අධ්‍යනය කරන්නට ඇති බව තමන් උපකල්පනය කරන්නේ යැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා සදහන් ක‍ළේය. එම ප්‍රකාශයට අප්‍රසාදය පළකළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය කියා සිටියේ ඉහළ අධිකරණයෙන් ලබාදෙන නියෝගයක් පහල අධිකරණයක විනිසුරුවරයෙක් විසින් අධ්‍යනය කළේ දැයි විමසීම නීතිඥවරයෙකුට උචිත නොවන බවයි. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය , නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයාට නීතිඥ මහත්මයා යනුවෙන් ආමන්ත්‍රණය කිරීම කෙරෙහි සිය අප්‍රසාදය පළකළ දීලිප පිරිස් මහතා ප්‍රකාශ කළේ තමා නීතිඥවරයෙක් නොවන බැවින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නාමයෙන් ආමන්ත්‍රණය කරන ලෙසයි. මහාධිකරණ විනිසුරුවරයා ප්‍රතිශෝධන පෙත්සමේ නියෝගය ප්‍රකාශ කරන ලද අවස්ථාවේදීවත් සැකකාර රාජිත සේනාරත්න අධිකරණයට නොපැමිණි නිසා සැකකරු අවම වශයෙන් දින 14ක් වත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙහිදී ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා යළි මහේස්ත්‍රාත්වරියගෙන් ඇප ඉල්ලා සිටියේ 70 හැවිරිදි පසුවන තම සේවාදායකයාට හෘද සැත්කමක් පවා සිදුකර තිබෙන නිසා රට තුල කොවිඩ් වසංගතයත් ව්‍යාප්තව ඇති පසුබිමක ඔහුව බන්ධනාගාරයට යොමු කළ හොත් ඔහුට ජීවිත අවධානමක් ඇති විය හැකි බව පවසමින්. කෙසේවෙතත් මේ වනතුරු බන්ධනාගාරයකින් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවුණු පසුබිමක සැකකරුට රැදී සිටිමට සුදුසුම නිරෝධායන මධ්‍යස්ථානය බන්ධානාගාරය බවත් එම නිසා ඇප ඉල්ලීමට විරුද්ධ වන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේය. කෙසේවෙතත් දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළේ සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව මැයි 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.‍ ඒ අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු රාජිත සේනාරත්න මහතාව ඊයේ රාත්‍රීයේම මිගමුවේ පිහිටි පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත මෙලෙස රැගෙන එනු ලැබුවේය. බන්ධානාගාර කොමසාරිස් ජනරාල් ජේ . ඩබ්ලිව් තෙන්නකොන් මහතා සදහන් කළේ රටේ පවතින වසංගත තත්වය හමුවේ කොළඹ රිමාන්ඩ් බන්ධානාගාරයට යොමු කරවන සැකකරුවන් දින 21 කාලයක් වෙනත් බන්ධනාගාර පරිශ්‍ර තුළ රදවා නිරෝධායනය කිරිමට තීරණය කර ඇති බවයි. ඒ අනුව මීගමුව පල්ලසේන විශෝධන මධ්‍යස්ථානයට ඊයේ රාත්‍රී ඇතුළත් කෙරුනු රාජිත සේනාරත්න මහතා දින 21 කාලයක් එහි රදවා තැබීමට නියමිත බව බන්ධානාගාර කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය. මේ අතර තමන්ගේ ඇප අයැදුම අවලංගු කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ. එම අභියාචනය අභියාචනාධිකරණයට වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බව ඔහුගේ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා සඳහන් කළේය. මේ අතර රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළක‍ළේය.
 

More News..