brand logo

මහාචාර්ය ධම්මික ගංගානාත් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට

12 August 2020

අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (13) සිදුකිරීමට නියමිතයි. ඒ මහතාගේ පවුලේ ඥාතීන් සදහන් කළේ හෙට බොරැල්ල පොදු සුසාන භූමියේදී දිසානායක මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බවයි. දේහය අද පෙරවරු 10.00 සිට මත්තේගොඩ සම්බුද්ධි වත්තේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබෙනු ඇත. කලක සිට පිළිකා රෝගයකින් පෙළුනු මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) අභාවප්‍රාප්ත වී තිබේ. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා සන්නිවේදන අධ්‍යයන අංශයේ හිටපු අංශ ප්‍රධානීවරයෙකු ලෙස කටයුතු කළ අතර, රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයා ලෙසත්, එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේය. එමෙන්ම ඒ මහතා ජපානයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කලක් කටයුතු කළේය. පුවත්පත් කලාවට ද අතිශය කැමැත්තක් දැක්වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පුවත්පත් කිහිපයකම තීරු ලිපි වලට තම පෑනෙන් ලියූ අතර, පැණිවළලු නම් තීරු ලිපිය මෑත කාලයේ අතිශය ජනප්‍රියත්වයට පත්විය. මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා මියයන විට 62 හැවිරිදි වියෙහි පසුවිය.
 

More News..