brand logo

මහවිරු සැමරුමට කනගපුරම් කනත්ත සුදානම්

26 November 2018

කිලිනොච්චිය,කනගපුරම් මහවිරු කනත්ත ආසන්නයේදී උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට සියල්ල සුදානම් බව කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පවසති. කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පැවසූවේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් හා මහවිරු පවුල්වල ඥාතීන්ගේ ප්‍රධානත්වයෙන් මහවිරු වැඩසටහන පැවැත්වීමට නියමිත බවයි. උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය මහවිරු කනත්ත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. පසුගිය වසරේ කනපුරම් මහවිරු සැමරුම් වැඩසටහන වෙනුවෙන් පුද්ගලයින් 10000 කට අධික පිරිසක් සහභාගි වූ බව කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පැවසූහ. එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ කනපුරම් මහවිරු ‍කනත්ත කේන්ද්‍ර කර ගනිමින් මහවිරු සැමරුම් වැඩසටහන් රැසක් පවත්වා තිබිණ. යුධ සමයේ තම ජාතිය වෙනුවෙන් ජිවිතක්ෂයට පත්වු මහවිරුවන් සැමරීමට හෙට(27) එක්වන ලෙසට දෙමළ දේශපාලන නියෝජිතයින් දෙමළ ජනතාවගෙන් ඉල්ලීම් කොට ඇති බව උතුරේ ආරක්ෂක අංශ පවසති. එල් ටි ටි සංවිධානය ක්‍රියාකාරිව පැවති අවධියේ යුද්ධයෙන් මියගිය එල් ටි ටි සාමාජිකයින් සැමරීම වෙනුවෙන් මහවිරු සතිය නම්කොට තිබු අතර,සෑම වසරකම නොවැම්බර් 20 වැනිදා සිට නොවැම්බර් 27 වැනිදා දක්වා මහවිරු සතිය එවක සමරනු ලැබීය. එල් ටි ටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය නොවැම්බර් 26 වැනිදා යෙදී ඇති අතර,ඒ වෙනුවෙන් එවක එල් ටි ටි සාමාජිකයින් විසින් මහා ජන සංහාර කරමින් ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරූහ. නොවැම්බර් 27 වැනිදා මහවිරු සැමරුම් අවසන් සැමරුම පවත්වන අතර කිලිනොච්ච්චිය කනගපුරම්,මුලතිව් මුලංකාවිල්,වවුනියාව හා මන්නාරම ප්‍රදේශයන්ගේ මහවිරු සො‍හොන් තුළ අදාළ සැමරුම් පැවැත්වීම එකල එල් ටි ටි සංවිධානය සිදුකරනු ලැබීය. 1982 වසරේ නොවැම්බර් 27 වැනිදා ජිවිතක්ෂයට පත්වු ලුතිනන් සංකර් නමැති එල් ටි ටි සාමාජිකයා මියයාම සිහි කරමින් 1989 වසරේ නොවැම්බර් 27 වැනිදා සැමරුම් වැඩසටහනක් පවත්වමින් මහවිරු සැමරීම ආරම්භ කොට තිබිණ. 1989 නොවැම්බර් 27 වැනිදා මුලතිව් නිත්තකේයිකුලම ප්‍රදේශයේදී පළමු මහවිරු සැමරුම එල් ටි ටි නායක ප්‍රභාකරන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ආරක්ෂක අංශ පවසති. සංකර් වෙත වෙඩි වැදීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීමට සංකර් ඉන්දියාව වෙත ගෙනගොස් තිබු අතර,ඉන්දියාවේ ප්‍රතිකාර ලබමින් සිටියදී සංකර් 1982 නොවැම්බර් 27 වැනිදා සවස 6.10 ට ජිවිතක්ෂයට පත්ව තිබු අතර,අදාළ දිනය හා වේලාව සිහිකරමින් නොවැම්බර් 27 වැනිදා සවස 6.10 ට පහන් දල්වා එල් ටි ටි සාමාජිකයින් මහවිරු සැමරුම සිදුකරයි.
 

More News..