brand logo

බැසිල් දිවයිනට

03 February 2020

ජනාධිපතිවරණයෙන් පසු ඇමෙරිකාව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (03) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය. බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම සදහා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග, ජන මාධ්‍ය රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ප්‍රජා සේවා රාජ්‍ය ඇමති නිමල් ලාන්සා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් පැමිණ සිටියහ. පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වු බැසිල් රාජපක්ෂ මහතා ජයග්‍රහණයෙන් සතියකට පසු ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. ඔහු නැවත දිවයිනට පැමිණියේ මාස 02 කට පමණ පසුවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිවීම සහ ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ලකුණ සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශවය අතර කථා බහක් මතුව තිබේ. පසුගිය සතියේ පොදුජන එක්සත් පෙරමුණු විධායක සභාව රැස් ව එහි නම ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය ලෙස වෙනස් කළ අතර එහි සම නායකයන් ලෙස මහින්ද රාජක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරු නම් කෙරිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 51%කුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 31% කුත් සෙසු පක්ෂ වලට ඉතිරි කොටස් බෙදී යන ආකාරයෙන් සන්ධානය බිහිවන බව මෙහිදී ප්‍රකාශ විය. සන්ධානයේ ලකුණ බැසිල් රාජක්ෂ මහතා දිවයිනට පැමිණි පසු තීරණය කර ගන්නා බව ද කියවිණි. කෙසේ වෙතත් මෙම කරුණු වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයේ එකගත්වය මෙතෙක් පළ ව නොමැත. බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියේ මෙවැනි පසුබිමක් තුළය.
 

More News..