brand logo

මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළට

28 October 2019

මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය මාස දහයක කාලයයේදී ඩෙංගු රෝගයට ගොදුරුව පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙන බව මහනුවර ප්‍රාදේශීය වංසගත වේදඥ පසන් වික්‍රමසිංහ මහතා පවසයි. මේවන විට දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 1960 දෙනෙකු වාර්තා වී තිබෙන බවත් වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ රෝගය සීඝ්‍රයෙන් ව්‍යාපත් වෙමින් තිබෙන බවත් ඒ මහතා කීය. මධ්‍යම පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පානය කිරීම පිණිස ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම හා ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය පිහිටුවීම නිමිත්තෙන් අද (28) මධයම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති රැස්වීමකදී වික්‍රමසිංහ මහතා මේබව පැවසුවේය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ඇතුළු පරිපාලන නිලධාරීන්ද,සොඛ්‍ය අංශ ප්‍රධානීන් හා පොලීස් ස්ථානාධිපතිවරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. අකුරණ ප්‍රදේශයේ දෙදෙනෙකුද උඩුනුවර,හතරලියද්ද හා යටිනුවර ප්‍රදේශවල එක් අයෙකු බැගින්ද ඩෙංගු රෝගයට ගොදුරුව මියගොස් තිබෙන බව හෙතෙම පැවසුවේය. මියගිය අය අතරින් තිදෙනෙකු වයස අවුරුදු 60 ඉක්මවූ අය බවත් සෙසු දෙදෙනා අතරින් එක් අයෙකු පාසැල් සිසුවෙකු බවත් ඒ මහතා කීය. වැඩිම රෝගීන් පිරිසක් වාර්තාවී තිබෙන්නේ මහනුවර නගර සීමා බල ප්‍ර දේශයෙන් බවත් එම සංඛ්‍යාව 273 ක් බවත් පිළිවෙළින් කුණ්ඩසාලෙන් 208 ක් අකුරණින් 201 ක් යටිනුවරින් 193 ක් හා ගඟවට කෝරළයෙන් 154 ක් ලෙස රෝගීන් වාර්තා වී ඇති බවත් හෙතෙම පැවසුවේය. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවත්වා ගෙනගිය පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් එසේ ඉදිරිපත් කළ පුද්ගලයින්ට මෙම වසර තුළ පමණක් රුපියල් ලක්ෂ 36 ක පමණ මුදලක් අධිකරණය මගින් දඩ ලෙස නියම කර තිබෙන බවත් වික්‍රමසිංහ මහතා කීය. මෙරට සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දායකත්වය සෑම අවස්ථාවකම 10% ක පමණ අගයක් ගත් නමුත් මෙම මාසයේ එම අගය 17.2% ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් මෙය අති අවධානම් තත්ත්වයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
 

More News..