brand logo

මහජන බැංකුවේ වේගවත් ඩිජිටල් ණය පිරිනැමිය හැකි ශාඛා ගණන 100 දක්වා ඉහළට

02 January 2021

ශ්‍රී ලාංකීය බැංකුකරණ ක්ෂේත්‍රයේ නිම්වළලු පුළුල්කරමින් ඩිජිටල් බැංකුකරණය හඳුන්වා දුන් මහජන බැංකුව පසුගියදා සිය 100 වැනි People’s Wiz Credit පහසුකම (RLOS) සිය බණ්ඩාරවෙල ශාඛාවේදි දියත් කරන ලදී. මහජන බැංකුව සිය ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රධාන නිමැයුමක් වශයෙන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ගනුදෙනුකරුවන්ට පුද්ගල ණය හා ආයතනික ණය පැය විසිහතරක් ඇතුළත ලබාදීමේ අරමුණින් People’s Wiz Credit හඳුන්වා දෙන ලදී. ඕනෑම වර්ගයක ණයක් ලබාගැනීමේ දී සිදුකළ යුතු කාර්යයන් රැසක් කඩදාසි භාවිතය අවම කරමින් ඩිජිටල් ක්‍රියාවලියක් ඔස්සේ සිදුකිරිම මේ තුළින් සිදුවේ. සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව අනුමත කිරීමේ සිට ණය මුදාහැරීම දක්වා අවස්ථා 15 ක් පමණ ඇති අතර, ණය මුදලේ ස්වභාවය සහ විවිධ කාරණා මත ණයක් ලබාගැනීම සඳහා මාසයක් හෝ ඊට ආසන්න කාලයක් වුව ගත විය හැක. කෙසේ වෙතත් RLOS පද්ධතිය හරහා පැය කිහිපයකින් ණය මුදල් අනුමත කරවාගත හැකි වන අතර, ණය මුදලේ ප්‍රමාණය හා ලබාදෙන සුරැකුම් මත මෙම කාලය යම් පමණකට වෙනස් විය හැක. මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු, අලෙවි ප්‍රධානි නාලක විජේවර්ධන, ප්‍රධාන කළමනාකාර මංගල කාරියවසම්, බදුල්ල ප්‍රාදේශීය කළමනාකාර මංජුල දිසානායක, සහකාර ප්‍රාදේශීය කළමනාකාරුවන් වන රජිව් කරුණානායක සහ ආර්.එම් ගාමිණි, බණ්ඩාරවෙල ශාඛා කළමනාකාර උපාලි විජේනායක යන මහත්ම මහත්වරුන් ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන්, ගනුදෙනුකරුවන් සහභාගී වූහ.
 

More News..