brand logo

මහජන බැංකුවේ මුල්ම ලේකම්වරිය හමුවුනෙමි

20 January 2019

‘‘ඇය රානි මාකලන්ද පෙරේරා ජයසූරියයි. අසූ හය වැනි වියේ පසුවන ඇය තවමත් තම මෝටර් රථය තනිවම පදවාගෙන යයි. කෝට්ටේ තම නිවසේ නිදහසේ කල් ගෙවන ඇය තනිවම පියානෝ ගසමින් චිත්‍ර අඳිමින් ගෙවන්නේ ධාර්මික දිවියකි. ඇගේ සමකාලීනයින් බොහෝමයක් ඔත්පලව හෝ ජීවිතයෙන් සමුගෙන සිටියත් ඇය තවමත් නර්තනයේ පවා නිරත වෙයි. ඇගේ කතාව ඇය ඔබට කියන්නේ මෙසේය.’’ අපි වත්මන් පරම්පරාවට ඔබතුමියගෙ නම හඳුන්වා දෙන්නේ කොහොමද? මම FB එකේ නම් ඉන්නේ රානි ජයසූරිය කියලා. මගේ උප්පැන්න සහතිකයේ තියෙන්නේ රංජනී මාකලන්ද පෙරේරා ජයසූරිය. යාළුවො නම් කතාකරන්නේ රානි ජයසූරිය කියලා. එකට ඉස්කෝලෙ ගිය යාළුවෝ කී දෙනෙක් දැන් ඉන්නවද? ඉතාම ටික දෙනයි ඉන්නේ. නැත්තටම නැති තරම්. එතකොට දෙමව්පියෝ කවුද? තාත්තා මාකලන්දගේ සෑම්ද සිල්වා. අම්මා අයිරින් ජයසිංහ. මාකලන්දගේ ඩේවිඩ් සිල්වා කියන්නේ තාත්තාගේ තාත්තා. පියාගේ පස්වැනි මල්ලි ජෝන්ද සිල්වා. උපන් දිනය කියන්න කැමැතිද? මට ලබන ජුනි 30ට වයස 86යි. මම උපන්නේ 1933දී. මම පවුලේ වැඩිමලා. මට මල්ලිලා දෙන්නයි. අනිත් අය නංගිලා. මම පාසල් ගියේ ලංකාවේ පළවැනි ඉස්කෝලේ කෝට්ටේ ක්‍රිස්තියන් කොලේජ් (Catholic methodist school) එකට. පාසල් ජීවිතයෙන් පස්සේ මොකද කළේ? වැල්ලවත්ත පොලිටෙක්නික් එකේ ෂෝට් හෑන්ඩ් ටයිපින් කෝස් එකක් කළා. මුල්ම රැකියාව චැතම් ස්ට්‍රිට්වල කොම්පැනි එකක. ඒකේ නම ඕගේ කෝපරේෂන්. ලන්ඩන් නුවර ලංකා බැංකුවට සේවයට එක්වන්නේ කොයි කාලෙද? ඒ 1956දී. මම එතකොට බැඳලා හිටියේ ලංකා බැංකුවේ අමරේ පෙරේරා. එයාගේ මල්ලි තමයි ඉන්දියාවේ මහකොමසාරිස්. ලන්ඩන් නුවරදී සොෆියා ලොරේන් නමැති නිළිය හඳුනාගත්තේ කෙසේද? ලන්ඩන් බී.ඕ.සී. එකේ එංගලන්තයේ සුද්දොත් ගනුදෙනු කළා. ඒගොල්ලන්ගෙ ව්‍යාපාර ලංකාවේ තිබුණා. මට එතකොට වයස විසිපහයි කොණ්ඩේ දනිස් දෙක ගාවට තිබුණා. මට ඒ සුද්දා තමයි මිලනියර්ලන් කියන චිත්‍රපටයේ රඟපාන්න සොපියා ලොරේන්ව හඳුන්වා දුන්නේ. චිත්‍රපටය ප්‍රදර්ශනයේ මංගල දර්ශනයට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් ඇවිත් හිටියා. එතකොට චන්ද්‍රිකාලා, සුනේත්‍රලා හරි පොඩියි. චිත්‍රපටය බලල සිරිමාවෝ මට සුබ පැතුවා. එතකොට මිසිස් බණ්ඩාරනායක පොලිටික්ස්වලට ඇවිත් හිටියේ නැහැ. බණ්ඩාරනායක මහත්තයත් හිටියා. ලන්ඩන් නුවරදී අධ්‍යාපන කටයුතුවල නියැළුණාද? මම එහෙදී ත්‍රිමාණ චිත්‍ර කලාව ඉගෙන ගත්තා. 1996දී ලංකාවේ මුල්ම ත්‍රිමාණ චිත්‍ර ප්‍රදර්ශනය මම ජාතික කලාගාරයේ පැවැත්වුවා. ඔය ගෙදර එල්ලල තියෙන සමහර චිත්‍ර ඒවා තමයි. 56 බණ්ඩාරනායක ජයග්‍රහණයෙන් පසු එංගලන්තයට පලාගිය සර් ජෝන් කොතලාවල එහෙම ලන්ඩන් නුවර ලංකා බැංකුවට ආවද? ලන්ඩන් බෑන්ක් එකේ මැනේජර් ක්‍රේන් කියන සුද්දා තමයි මට සර් ජෝන් හඳුන්වල දුන්නේ සර් ජෝන් මගේ මහත්තයගේ හොඳම යාළුවෙක් වුණේ එයාගේ ෆාම් එකේ එකවුන්ට්ස් හදන්න ගිහිල්ලා. සර් ජෝන්ට කෙන්ට්වල ස්ට්‍රෝබරි වත්තක් තිබුණා. ඒකේ වලව්ව තාම තියෙනවා. සුමානයකට සැරයක් සර් ජෝන්ට රත්මලානෙන් කොස්, දෙල්, පොල්, එවන්නේ ගෙඩිය පිටින්මයි. ඒවා ගේන දවස ලන්ඩන්වල හිටපු සිංහල අය දන්නවා. එදාට ඒ වලව්වට කවුරුත් එකතු වෙනවා. සර් ජෝන් ඒවා උයලා ඔක්කොටම කන්න දෙනවා. සර් ජෝන් එනකොට ලංකාවේ දේශපාලනය ගැන උනන්දුවෙන්ද හිටියේ? ලංකාවේ දේශපාලනය ගැන පුදුම කලකිරීමෙන් හිටියේ. බණ්ඩා මම ගැට ගහපු බල්ලෝ ඔක්කොම ලිහා ගත්තා කිව්වා. සර් ජෝන් බල්ලෝ කිව්වේ කාටද? ඇයි සමසමාජ, කොමියුනිට් කට්ටියට. මිස්ටර් බණ්ඩාරනායක, අගමැති වුණ දවසේ ඉඳන් හැමදාම ස්ට්‍රයික්. ඒ දවස්වල ලන්ඩන්වල පත්තරවලත් යනවා. සර් ජෝන් එංගලන්තයේ හිටපු කාලේ ලේකම් වුණේ කවුද? ඒ කාලේ දැන් වගේ අගමැතිලට පෙන්ෂන් තිබුණේ නැහැනේ. බැංකුවට ආපු වෙලාවක කිව්වා තමන්ගේ දේශපාලන අත්දැකීම් ගැන රහස්‍ය පොතක් ලියන්න යනවා, ඩ්‍රාෆ් කරලා දෙන්න කියලා. මම ඒක කරල දුන්නා. පොත සම්පූර්ණ කළා. මේකට කරුණු කිව්වේ සර් ජෝන් හරිම හැඟුම්බරව. සමහර අවස්ථාවල වෙවුලනවා. සර් ජෝන් කවදාකවත් හිතේ තියාගෙන හිටියේ නැහැ. ඩී.ඇස්. ගැනත් සර් ඔලිවර් ගැනත් තමන්ට වුණ අසාධාරණය කෙලින්ම පොතේ සටහන් කළේ මම. ‘සියරට’ පත්තරේ පටන් ගෙන තිබුණෙත් සර්ජෝන්. ඒ පොතේ තමන් පෞද්ගලික ධනයෙන් ගොඩනගපු යූඇන්පීය තමන්ව නොසලකා හැරීම ගැන සර් ජෝන් දැඩි වේදනාවෙන් සටහන් තබා තිබුණා. පොත ටයිප් කළේ සිංහලෙන්ද? ඉංග්‍රීසියෙන්ද? ඉංග්‍රීසියෙන් ඒකට නම දාලා තිබුණේ. Memories වගේ නමක්. කවරෙ නම් ඩිසයින් කළාද මතක නැහැ. ඒ පොතට මොකද වුණේ? ඒ පොතේ ටයිප් පිටපතක් කඳවලටත් එව්වා. ඒක මුද්‍රණය කළ යුතු දේශපාලන කෘතියක්. ඒකේ මුළු යූඇන්පීයේම ඉතිහාසය තිබුණා. එහෙම සමීප වෙලා ප්‍රශ්න දාගන්න පුළුවන් චරිතයක් නෙවෙයි සර් ජෝන්? සර් ජෝන්ගේ එකම දුව ‘ලක්ෂමි’ සර් ජෝන්ව බලන්න එංගලන්තෙට ආවද? දැකල නම් නෑ. අපි එංගලන්තෙ යන කොට එයා තනියෙන් හිටියේ. 1961 ජූලි 1 වැනිදා ආරම්භ වන මහජන බැංකුවට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද? සිරිමාවෝ බණ්ඩාරනායකටත්, ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායකටත් මාව නිර්දේශ කළේ එවකට ලංකා බැංකුවේ ඩබ්.එම්. සොලමන්. මම මිස්ටර් ලෝරන්ස් යටතේ ලන්ඩන්වල වැඩ කරල තිබුණා. මහජන බැංකුවේ ආරම්භක සභාපති වුණේ වින්සන්ට් සුබසිංහ, ඩබ්ලිව්.එච්. සොලමන් තමයි ප්‍රථම සාමාන්‍යාධිකාරී. මම තමයි මේ දෙන්නගෙම ලේකම්වරිය. අපි කාටවත් අලුතෙන් බැංකුවක් පටන් ගැනීම ගැන අත්දැකීමක් තිබුණේ නැහැ. මහජන බැංකුව ඇරඹි කාලේ කොහොමද? මහජන බැංකුව මුලින්ම පටන් ගත්තේ යුනියන් ප්ලේස් එකේ රත්නම් එක ගාව ගොඩනැගිල්ලක. විවෘත කිරීමේ උත්සවයට ආවේ සිරිමාවෝ බණ්ඩාරනායක. එයාට මල් බොකේ එක දීලා පිළිගත්ත පොඩි කෙල්ල මගේ දුව තමයි. 1961 මැයි 9 වැනිදා මහජන බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ටී.බී. ඉලංගරත්න ඉදිරිපත් කළත් මහජන බැංකු සංකල්පය පිලිප් ගුණවර්ධනගේ නේද? ඉතින් පනත සම්මත වුණ වෙලාවේ ජේ.ආර්., ඩඩ්ලි, දහනායක, ඇන්.ඇම්., වගේ ඔක්කොම ස්තුති කළේ පිලිප් ගුණවර්ධනටනේ. ඒත් බැංකුවට වැඩිම බලපෑමක් කළේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක. මහජන බැංකුව පටන් ගත් යුගයේ ඔබගේ සහ සඳලංකාවේ වින්සන්ට් සුබසිංහ සභාපතිතුමාගේ වැටුප කොහොමද? මිස්ටර් සුබසිංහට රු. 1500ක දීමනාවකුත් නිල රථයකුත් තිබුණා. එයා ඒ එකක්වත් ගත්තේ නැහැ.මගේ බේසික් සැලරි එක නම් රු. 106ක් වුණා. වින්සන්ට් සුබසිංහගේ ‘සඳ ලංකා සඳ’ පොතේ තියෙනවා තමන්ට බැංකුවක් පටන් ගන්නවා තියා මිනිහෙක්ට ‘ණයතුරුසක්වත්’ දීලා පුරුද්ක් තිබුණේ නැති වග? බොහෝමයක් සේවකයින් ගත්තේ ලංකා බැංකුවෙන්. ඔවුන් වෙළෙඳ ගනුදෙනුවලට පුරුදු වෙලා හිටියේ. සාමාන්‍ය ජනතාවත් එක්ක ගනුදෙනු කරන ‘ස්ටාෆ්’ එකක් පුහුණු කරගැනීම ප්‍රශ්නයක් වුණා. ඒ කාලේ බැංකුවලට තිබ්බ ලොකුම චෝදනාව සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කරලා කම්පැනි කාරයින්ට ණය දෙනවා කියන එක නේද? ගැමියන්ගෙන් ඈත්වෙලා තිබුණ බැංකු කවුන්ටරය ළඟට සාමාන්‍ය ගමේ ජනතාව ගෙනාවේ මිස්ටර් සුබසිංහ. එයා තමන්ගේ වියදමෙන් ඉන්දියාවට ගිහින් ග්‍රාමීය බැංකු ක්‍රමය අධ්‍යයනය කළා. 1964 මාර්තු 26 වැනිදා පළමු ග්‍රාමීය බැංකුව පටන් ගන්න උපකාර කරගත්තේ ඒ අත්දැකීම්. ඒ බැංකුව පටන් ගන්නේ මැණික්හින්නෙදි. ලංකාවට ජාතික ගීයක් තෝරා ගැනීමේ තරගයේ ඔබතුමියගේ පියාගේ ගීයට අත් වූ ඉරණම කුමක්ද? ඒකපටන් ගත්තේ ශ්‍රී ලංකාව මගේ ජයභූමි’ කියල. ඒක අවසන් පූර්ව වටයට තේරුණා. ලයනල් එදිරිසිංහ ඒකේ තේරීම් මණ්ඩලයේ හිටියා. ගම්පොළ ඉලංගසිංහ රාලහාමිගේ ගීතයක් ඒක මුලට තෝරා තිබීමට විරෝධය පාලා තාත්තා අවසන් වටයට ඉදිරිපත් වුණේ නැහැ. තාත්තා තාගෝර්තුමාගෙන් ශාන්ති නිකේතනයේ ඉගෙන ගත්තා. ශාන්ති නිකේතනයේ මාකලන්දවරි රාගය නිර්මාණය කළේ තාත්තා. තාත්තා ජාතික ගීයට යොදා ගත්තෙත් ඒ ‘මාකලන්දවරී රාගය’ මහජන බැංකුව ආරම්භයේදී විශාල සේවයක් කළ ඔබතුමියට මහජන බැංකුව නොසෑහෙන්න සලකන්න ඇති නේද? 1972 සිට 1979 දක්වා විශාල වැටුප් වර්ධකයක් මට ලැබුණේ නැහැ. මට අයවිය යුතු විශාල මුදලක් තිබෙනවා. කරුණාජීව සභාපති යුගයේ නම් මට සහනයක් සලසන බැව් කිව්වා. බැංකුවේ මුල දන්නැති අයට අපේ වටිනාකමක් නැහැ. බැංකුවේ සංවත්සර උත්සවයකටවත් මට ඉන්විටේෂන් එකක්වත් එවන්නේ නැති එක ගැන නම් මට කනගාටුයි. ආදරයෙන් ගොඩනගපු බැංකුවක් අපිට මෙහෙම සලකන එක හරිද? මරියසෙල් ගුණතිලක මාකලන්ද පරම්පරාවේද? මරියයෙල් විතරක් නෙවෙයි හර්ෂ මාකලන්දත් අපේ පරම්පරාවේ උදවිය රොකානේ චන්දවිමල හාමුදුරුවෝ හඳුනාගන්නේ කොහොමද? මම හැමදාම කොළඹ විපස්සනා භාවනා එකේ පෝයට සිල් ගත්තා එතැනින් තමයි පොකුණුවිට බුරුම පන්සලේ රේරුකානේ හාමුදුරුවෝ බැහැදකින්න ගියේ ඒ කාලේ ප්‍රේමසිරි හාමුදුරුවොත් හිටියා. හාමුදුරුවොත් එනකොට ඔත්පල වෙලා. මට අදෘශ්‍යමාන බලයක් තිබුණ බව හාමුදුරුවෝ දැනගත්තා. තමන්ගේ ඇඟට අත තියන්න එයා කිව්වා. මම රේරුකානේ හාමුදුරුවන්ව වරු තුනෙන් නැගිට්ටුවා. මට තෑග්ගක් හැටියට පොතක් දුන්නා. හාමුදුරුවන්ට එතකොට 92ක්. ඒ අවස්ථාවේ හිටපු අය සමහරු තවම පන්සලේ ඉන්නවා. ප්‍රේමසිරි හාමුදුරුවෝ නම් කඳුබොඩ වැඩහිටින්නේ. ජීවිතේ වයස 86ක් වෙනකොට අවසන් වශයෙන් මොකද කියන්න තියන්නේ? මම ගෙවන්නේ ධර්මානුකූල ජීවිතයක්. මගේ දරුවෝ දෙන්න විදේශවල වැදගත් රැකියා කරනවා. වයසට ගියාට වැඩක් නෑ තමන්ගේ වැඩ කරගන්න බැරුව අනිත් අයට කරදරයක් නම්. මම මස් මාළු කන්නේ නැහැ. දැන් ඉතින් අපේ ශරීර මොනවත් අවශෝෂණය කරගන්නේ නැහැ. හිතට කිසිම බරක් නැහැ. ඊටත් වැඩිය මගේ ජීවිතය කාටවත් බරක් නැහැ. ඉන් එහා සැනසීමක් ජීවිතයට තියෙනවද? වජිර ලියනගේ
 

More News..