brand logo

මහජන බැංකුවේ ‘අස්වැන්න’ ණය පහසුකම් පිරිනැමීමේ තවත් අදියරක් අනුරාධපුර ගල්නෑවේදී

02 June 2020

රජයේ සංවර්ධන වැඩපිළිවෙළට සමගාමීව යළි ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දී ඇති ‘අස්වැන්න’ ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාදීමේ තවත් අදියරක් අනුරාධපුර ගල්නෑවල කිරිඳවත්ත වැව් තාවුල්ලේදී මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ හා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී එම්.ඒ බොනිෆස් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි. මෙදින කුඹුරු ඉඩම් මිලදී ගැනීමට, කෘෂිකාර්මික කටයුතු සඳහා බීජ හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමට, ඉඩම් හා ට්‍රැක්ටර් ඇතුළු කෘෂිකාර්මික යාන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට, යටිතල පහසුකම් සංවර්ධනයට ණය මුදල් ප්‍රදානය කෙරිණි. මීට අමතරව මහජන බැංකුවේ අස්වැන්න ඉතුරුම් හා ආයෝජන ගිණුම් ආරම්භ කළ ගොවි මහත්වරුන්ට පාස්පොත් පිරිනැමීමද සිදුවිය. එමෙන්ම මෙහිදී ගිණුම් විවෘත කළ සහ ණය පහසුකම් ලබාගත් සියලුම දෙනාට මහජන බැංකුවේ හරිත බැංකුකරණ වැඩපිළිවෙළ යටතේ පැළ වර්ග බෙදාදෙන ලදී. මෙම අවස්ථාවට මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ) වික්‍රම නාරායන, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ) ඒ.යූ.ඒ අන්සාර් මහත්වරුන් සහ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාරිනි චන්ද්‍රිකා නිස්සංක මහත්මිය ඇතුළු බැංකු නිලධාරින් පිරිසක් හා ගොවි මහතුන් සහභාගි විය. මෙම ණය ප්‍රදානය කිරීමෙන් අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් සහ රුවන්වැලි මහ සෑ විහාරාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිපාණන් වහන්සේ බැහැදැක ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දුන් ‘අස්වැන්න’ ණය පහසුකම පිළිබඳව දැනුවත් කර මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීමට මහජන බැංකුවේ සභාපතිතුමා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කළමනාකාරිත්වය කටයුතු කරන ලදී. මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් අස්වැන්න ණය පහසුකම යටතේ ට්‍රැක්ටරයක් මිලදී ගැනීමට ණය මුදලක් පිරිනමන අයුරු. වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරී එම්.ඒ බොනිෆස් සිල්වා මහතා සහ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකාරිනි චන්ද්‍රිකා නිස්සංක මහත්මිය ද මෙහි වෙති.
 

More News..