brand logo

මහජනතාව කුපිත වන ආකාරයෙන් ෆවුසි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කෙරේ

28 October 2019

හිටපු අමාත්‍යවරයකු වූ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඒ. එච්. එම්. ෆවුසි මහතා විසින් ඉකුත්දා සිදුකරන ලද බව කියන මහජනතාව කුපිත වන ආකාරයේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ග්‍රූන්ඩ්පාස් පොලීසිය විසින් අද (28) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කරන ලදී. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ඉකුත් 24 වනදා තොටළඟ ප්‍රදේශයේ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක් විවෘත කිරීමෙන් අනතුරුව මහජනතාව හමුවේ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසි මහතා විසින් " ගෝඨාභය පරද්දමු. ගෝඨාභය මරමු." යනුවෙන් ප්‍රකාශයක් සිදුකර ඇති බවට සිංහලේ ජාතික සංවිධානය විසින් පැමිණිල්ලක් සිදුකර ඇති බව සඳහන් කර සිටියහ. එම ප්‍රකාශය තුළින් ෆවුසි මහතා මහජනතාව කුපිත වන ආකාරයෙන් කටයුතු කර ඇති බව අදෘළ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ෆවුසි මහතාගේ ප්‍රකාශය ආවරණය කළ විද්‍යුත් මාධ්‍ය ආයතනවලින් ඊට අදාල සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන ලබා ගැනීමට අවශ්‍ය වී ඇතැයි සඳහන් කළ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය ගෙන් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිසිය විසින් ඉල්ලා සිටිනු ලබන වීඩියෝ දර්ශන ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස දන්වමින් විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග නිකුත් කරන ලදී. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වා ඉදිරියේදී වාර්තාවක් ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් පොලිසියට නියෝග කරනු ලැබීය. අධිකරණ වාර්තාකරු
 

More News..