brand logo

මස් හා කිරි නිෂ්පාදන කන්නේ බලාගෙනයි රාජ්‍ය ගිණුම් කාරක සභාව අනාවරණය කරයි

13 April 2019

වෙළෙඳපොළේ විකිණීමට ඇති මස් හා මස් ආශ්‍රිත සහ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රමිතිය ගැටලුකාරී බව රාජ්‍ය ගිණුම්කාරක සභාව හමුවේ අනාවරණය වී තිබේ. එම නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් නිකුත් කරන ප්‍රමිති සහතිකය අනිවාර්ය නොවූ පසුබිමක ප්‍රමිතියේ මෙම ගැටලු සහිත තත්ත්වය උදා වී ඇත. ආහාර සම්බන්ධ අනුකාරක සභාවක් මගින් මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන සහ තවත් ආහාර වර්ග කීපයක් නියාමනය සකස් කරමින් පවතියි. ආහාර ලේබල් කිරීම, ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය, බෝතල් කළ ජලය අයනීනීකෘත ජලය හා ආහාර අකලන ද්‍රව්‍ය පිළිබඳ නියාමන සකස් කොට රජයේ නීති කෙටුම්පත් සම්පාදක වෙත ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය රාජ්‍ය ගිණුම් කාරක සභාවට දන්වා ඇත. එම නියාමන කෙටුම්පතට ප්‍රමුඛත්වය දී කටයුතු කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත දැනුම් දීමට කාරක සභාව තීරණය කර තිබේ. විශේෂයෙන් සිංහල - දෙමළ අලුත් අවුරුදු සමයත් සමග නොයෙකුත් වෙළෙඳ නාමයන් යටතේ ප්‍රමිති ආයතනයේ සංකේතය සහිතව මස් හා මස් ආශ්‍රිත නිෂ්පාදන, කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන බහුල වශයෙන් වෙළෙඳපොළේ විකිණීමට ඇත. එම ඇතැම් නිෂ්පාදනවලට යොදාගෙන ඇති ප්‍රමිති ආයතනයේ සහතිකය ව්‍යාජයක් බවද වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ. අත්තනායකගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මෙම නිෂ්පාදන සඳහා ප්‍රමිත සහතිකය ගැනීම අනිවාර්යය නොවන බවයි. ‘‘යම්කිසි නිෂ්පාදකයෙක් ප්‍රමිතිය පරීක්ෂා කරන්න කියලා ඉල්ලුවොත් පරීක්ෂා කරන්න පුළුවන්. එහෙම තත්ත්වය බලලා සහතිකයක් නිකුත් කරනවා. එහෙම ලබාදුන් ඒවා ගැන පසුව පසුවිපරමක් කරනවා. එවැනි ආයතනවල නිෂ්පාදන ගැන ස්ථානීය හා වෙළෙඳපොළට ගිහිල්ලත් බලනවා. ඒත් හොරට එස්.එල්.එස්. සහතිකය සඳහන් කරලා තියෙනවා නම් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා’’ යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. චමින්ද සේනාරත්න
 

More News..