brand logo

මස්සිනා උස්සන්නට එජාපයට රනිල් දුන් බඩ විරේකය

19 September 2020

මිතුරන් මෙන්ම පසමිතුරන් අතරත් රනිල් වික්‍රමසිංහ අරබයා හැමදාමත් කියන කතාවක් ඇත්තේය. ඒ ඔහු හොඳට පොතපත කියවන, ඉතිහාසය ගැන දන්නා දේශපාලනඥයෙක් බවය. මේ චරිත සහතිකයේ හැටියට රනිල්ට දෙවැනි ලෝක යුද්ධය අමතක වීමට හේතුවක් නැත්තේය. දෙවැනි ලෝක යුද්ධයේදී ජර්මන් හමුදා රුසියාවට පහර දෙන්නට ගත් විට රුසියානු හමුදාවෝ රට අභ්‍යන්තරයට පහු බැස්සෝය. ශීත කාලය එනතුරා කල්මැරූ රුසියානු හමුදාවෝ ජර්මනියට එල්ල කළ ප්‍රති ප්‍රහාරය නතර කළේ ජර්මනියේ අගනුවර වූ බර්ලිනයද අල්ලා ගනිමිනි. පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදවලදී රනිල් වික්‍රමසිංහත් ප්‍රතිවාදීන්ට පහර දෙන්නේ හරියටම එදා රුසියන් හමුදාව හිට්ලර්ට පහර දුන්නා වගේමය. ඡන්දය පරාජය වූ විට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් රනිල්ට කියන්නේ ‘‘දැන් හිටියා හොඳටම ඇති, ගෙදර යන්න’’ කියාය. ඒ කතාව ඇසෙන විට රනිල් පසුබසින්නේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයටය. කෘත්‍යාධිකාරී මණ්ඩලයට එන රනිල් විරෝධීහු කල්පනා කරන්නේ ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට අද නම් හැකිවනු ඇති බවය. එසේ සිතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට එන රනිල් විරෝධීන් හැමදාමත් සිරිකොතින් පිටවී ගියේ රුසියාවට ඇතුළු වී හිස් අතින් ගිය ජර්මන් හමුදාව සේය. එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රනිල්ගේ ආරක්ෂිත බළකොටුවයි. එහි සාමාජිකයෝ රනිල් කැමැති අය පමණි. රනිල් කැමැති නම් සිරිකොතේ මුරකරුවාටත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි ඡන්ද ගෙන ජය ගැනීමට හැකිය. මින් පෙර එම සටන් බිමේදී රනිල්ට එරෙහිව නායකත්වය ඉල්ලූ කරු ජයසූරිය පැරදුණේය. සජිත් ප්‍රේමදාස පැරදුණේය. පක්ෂයේ ජාතික සංවිධායකකමට ඉල්ලූ ජනප්‍රිය එජාප දේශපාලනඥයෙක් වූ දයාසිරි ජයසේකර පරාජය වූයේය. දයාසිරි පැරදුණේ දයා ගමගේටය. ඔහු දිනුවේ ඔහුගේ දක්ෂකමකින් නොව ඒ වෙලාවේ රනිල්ලා සිටියේ දයාගේ පැත්තේ බැවිනි. අන්තිමේදී එජාපය දයාසිරි, කරු, සජිත් නැතිකර ගත්තේය. පසුගිය ජනපතිවරණයෙන් පරාජය වන තෙක් සජිත් කල්පනා කරන්නට ඇත්තේ තමා එජාපයේ නියෝජ්‍ය නායකයා බැවින් රනිල්ගේ අනුප්‍රාප්තිකයා තමා වනු ඇති බවය. එහෙත් අන්තිමේදී ඔහුටත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකට සේම හරි නුවණ පහළ වූයේ පහුවෙලාය. ඩී. ඇස්. සේනානායක ලංකාවේ මුල්ම අගමැතිවරයා වන විට ඔහුගේ ආණ්ඩුවේ සභානායකවරයා වූයේ බණ්ඩාරනායකය. මීළඟ අගමැති ධුරයට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මෙන්ම අනෙකුත් සුදුසුකම් අතින් සුදුස්සා වූයේ බණ්ඩාරනායකය. එසේ තිබියදී ඔහු සභානායක ධුරයෙන් ඉවත් වී විපක්ෂයට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමට ගත් තීරණය බොහෝ දෙනෙක් විස්මයට පත් කළ සිද්ධියක් විය. මේ තීරණය නිසා බණ්ඩාරනායක වසර පහක් සිටියේ විපක්ෂයේය. පනස් හයේ ඡන්දය ජයගෙන අගමැති පුටුවේ වාඩි වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගෙන් පුවත්පත් කලාවේදියෙක් ප්‍රශ්නයක් ඇසුවේය. ‘‘ඩී. ඇස්. ගේ දෙවැනියා වෙලා සිටිද්දීත් ඇයි ඉල්ලා අස්වෙලා විපක්ෂයට ගියේ?’’ ‘‘ඩී. ඇස්. ගෙන් පස්සෙ මට අගමැතිකම ලැබෙන්නෙ නෑ කියලා මම දැනගෙන හිටියා’’ අගමැතිවරයා උත්තර දුන්නේය. දයාසිරි ජයසේකර එජාපය හැරපියා ශ්‍රීලනිපයට පැමිණ වයඹ මහ ඇමැතිකමට තරග කළ අවස්ථාවේදී කීවේත් එදා බණ්ඩාරනායක කී කතාවමය. එජාපයෙන් තමාට කිසිදු දෙයක් නොලැබෙන බව තමා දැනගෙන සිටි බව ඔහු කීවේය. රනිල්, දයාසිරිට නොසැලකුවේ කුරුණෑගල ඔහුගේ ප්‍රතිවාදියා රනිල්වාදියකු වූ අකිල විරාජ් කාරියවසම් නිසා බව කාටවත් රහසක් නොවීය. එජාපයේ නැගී එන තරුණ නායකයකු වූ දයාසිරිටත්, සිංහල බෞද්ධ මහෝපාසකයෙක් ලෙස මහා සංඝරත්නයේ ගරු සම්භාවනාවට පාත්‍ර වූ කරුටත්, ආර්. ප්‍රේමදාසගේ පුතා වූ සජිත්ටත් කළ නොහැකි දෙයක් අන්තිමේදී රුවන් විජයවර්ධන කළේය. ඒ එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකයා වීමට පාර කපා ගැනීමයි. එජාපයේ මීළඟ නායකයා පක්ෂයේ නියෝජ්‍ය නායකයා බව මෙතෙක් රනිල් කීවේ නැත. නමුත් රනිල් දෙතුන් සතියකට ඉහතදී කීවේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා තව දෙතුන් මසකින් නායකයා වනු ඇති බවය. එජාප නියෝජ්‍ය නායකයා තෝරන තරගයේදී රුවන් විජයවර්ධන අතින් පරාජයට පත්වූයේ පක්ෂයේ උප නායකයා වූ රවි කරුණානායකය. ඔහු වරලත් ගණකාධිකාරවරයෙක් ලෙස ඉහළම අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබූ බව ඇත්තය. නමුත් රවි කරුණානායක දේශපාලන ඔළු ගෙඩි ගණින ගණිතය දන්නේ නැති බව නියෝජ්‍ය නායක තරගයකට ඉදිරිපත් වී ඔප්පු කර පෙන්වූවේය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය පිරවූයේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රහස් ඡන්දයකිනි. එම මණ්ඩලයේ බහුතර සාමාජිකයන් පක්ෂ නායකයාට පක්ෂ ව්‍යවස්ථාවෙන් හිමි බලතල අනුව කළ පත්වීම්ය. එසේ බලන විට එජාපයේ තනතුරු පිරවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් බව රටුන්ට පෙනුණද ඡන්දය දෙන බහුතරය පක්ෂ නායකයාගේ රූකඩයන් බව මතක් වන්නේ නැත. එබැවින් රවි කරුණානායක පමණක් නොවේ, ඩී. ඇස්., ඩඩ්ලි, ජේ. ආර්., ප්‍රේමදාස මිනී වළෙන් නැගිට විත් එජාප නායකත්වයට තරග කළද, පක්ෂ නායකයා අකමැති නම් ඔහුට අවස්ථාවක් ලැබෙන්නේ නැත. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රනිල්ට ඇති බලය එහෙමය. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ දැන් ඉන්නේ ගෙදරය. ආණ්ඩු බලය ගන්නට තියා මන්ත්‍රී ධුරයක් දිනා ගන්නට ඔහුට මෙවර බැරි වූයේය. ඒ නොහැකියාව කෙසේ වුවත් ඔහු යළිදු වරක් තමා නොට්ටිගේ පුතෙක් නොවන බව නියෝජ්‍ය නායකයා පත්කිරීමේ ක්‍රියාවලියේදී ඔප්පු කර පෙන්නුවේය. රනිල්ගේ තාත්තා එස්මන්ඩ් වික්‍රමසිංහය. ඒ නම දැන් දැන් දේශපාලනයේ නොඇසුණත් මීට දශක කීපයකට පෙර ලංකාවේ ‘රජුන් තනන්නා’ වූයේ එස්මන්ඩ් වික්‍රමසිංහය. එජාපයේ මීළඟ නායකයා වන්නේ කවුද, එසේ නැතිනම් එජාපයේ මීළඟ අගමැති වන්නේ කවුදැයි තීරණය කරමින් දේශපාලනයේ තිරය පිටුපස සිට නූල් සූත්තර ඇදි ප්‍රධාන චරිතය වූයේ ඔහුය. එස්මන්ඩ් වික්‍රමසිංහ ඉගෙනුම ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙනි. ඉක්බිතිව කොළඹ සරසවියෙන් ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක්ද ලබා නීතිවේදියකු බවටද පත්විය. පසුකලක එජාපයේ නිල නොවන නායකයා ලෙස හැඳින්වුවද එස්මන්ඩ් දේශපාලනයේ ‘අ’ යන්න කියවූයේ ලංකා සමසමාජ පක්ෂයෙනි. ඔහු එහි ප්‍රබල චරිතයකි. පක්ෂයේ නිල ප්‍රකාශනය වූ ‘සමසමාජය’ සඟරාව විකිණීම භාරව හුන්නේ එස්මන්ඩ්ය. ඇතැම් දිනවල ඔහු සඟරාව වික්කේ සිය සුඛෝපභෝගී හම්බර් වෝක් මෝටර් රථයෙන් ගොස් බව එකල කියවිණි. එස්මන්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ තරුණියක සමග ප්‍රේම සම්බඳතාවක පැටලුණේය. ඇය නාලිනී විජයවර්ධනය. ලංකාවේ පුවත්පත් ක්ෂේත්‍රයේ මහා චරිතය වූ ඩී. ආර්. විජයවර්ධන, නාලිනීගේ පියාය. කෙසේ නමුදු මාමා හා බෑණාගේ දේශපාලනය යාදෙක නොරත රත මෙන් විය. වැඩිකල් යන්නට මත්තෙන් ඩී. ආර්. සිය බෑණාවත් සිය මතයට නම්මා ගත්තේය. ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්වූ පසු එස්මන්ඩ් වික්‍රමසිංහ සමාජවාදය හැරපියා ධනවාදය වැලඳ ගත්තේය. එස්මන්ඩ් වික්‍රමසිංහ චරිතය මතුවන්නේ ඔහු ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්වීමත් සමගය. එස්මන්ඩ් රටේ කෙතරම් බලසම්පන්න චරිතයක් වූවාදැයි කිවහොත් ඩී. ඇස්. සේනානායක මියගිය පසු ඩඩ්ලි අගමැති බවට පත්කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන චරිතයක් වූයේ එස්මන්ඩ්ය. ඩී. ඇස්. මරණයට පත්වූයේ අසු පිටින් වැටී බවට බොහෝ දෙනා අදටත් සිතුවත් සැබැවින්ම ඔහු මියගියේ හෘදයාබාධයකිනි. වසර දෙක තුනක සිටම දුර්වල සෞඛ්‍ය තත්ත්වයේ සිටි ඔහු, සිය පුතුගේ අනාගතය භාර කළේ එස්මන්ඩ්ටය. ඩී. ඇස්. රෝගාතුර වූ මොහොතේ අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි හුන්නේ නොරටය. ඔහු ලංකාවෙන් පිටවීමට පෙර වැඩබලන අග්‍රාණ්ඩුකාර ධුරයට අගවිනිසුරු ශ්‍රීමත් ඇලන් රෝස් පත්කළේ උපදෙසක්ද දෙමිනි. ඒ අගමැතිවරයාට විපත්තියක් සිද්ධ වුවහොත් තමා එනතුරා එම ධුරයට කිසිවකු පත්නොකළ යුතු බව පවසමිනි. එමෙන්ම එස්මන්ඩ් වික්‍රමසිංහ සියලු කටයුතු බලාගනු ඇතැයිද ඔහු කීවේය. මේ අතර අගමැති මියගියේය. ආණ්ඩුවේ දෙවැනියා වූ සභානායක ජෝන් කොතලාවල අලුත් අගමැති වන්නට අලුත් සූට් ලෑස්ති කළේය. අගමැති පමණක් නොව ජෝන් කොතලාවල එජාපයේ මීළඟ නායකයා වීමට ද ඉඩ තිබුණි. එහෙත් එදත් සිද්ධ වූයේ මෙදා වූ දේමය. කොතලාවල වැඩබලන අග්‍රාණ්ඩුකාරවරයාගෙන් අගමැතිකම ඉල්ලුවද එය ලැබුණේ නැත. ඒ වෙලාවේ ඉදිරියට ආවේ රනිල්ගේ තාත්තා එස්මන්ඩ්ය. ඔහු සිය පුවත්පත් යොදාගෙන ඩඩ්ලි මීළඟ අගමැති විය යුතු බවට ජනමතයක් හැදුවේය. ඒ අතරේ රාජනීතිඥ ඇල්. ඇම්. ඩී. ද සිල්වා සමග එකතු වී තිරය පිටුපස සිට ඩඩ්ලි අගමැති කිරීමේ මෙහෙයුමද ක්‍රියාත්මක කරවීය. එහි ප්‍රතිඵලය වූයේ සෝල්බරි සාමි පෙරළා ලංකාවට පැමිණ ජෝන් කොතලාවල වෙනුවට ඩඩ්ලි සේනානායක අගමැති ධුරයට පත්කිරීමය. යම් හෙයකින් එස්මන්ඩ් වික්‍රමසිංහ ක්‍රියාත්මක නොවූයේ නම් ලංකාවේ දෙවැනි අගමැති වන්නේ ඩඩ්ලි නොව ජෝන්ය. වික්‍රමසිංහලා ලංකාවේ දේශපාලන ඉතිහාසයට කළ බලපෑමේ තරම එසේය. මේ සිද්ධිය වී වසර හැටනවයකට පසු තාත්තාගේ මෙහෙයුම පුතා යළිදු වරක් සිරිකොතේ ක්‍රියාත්මක කළේය. එදා එස්මන්ඩ් සර් ජෝන් කපා ඩඩ්ලි අගමැති කළා සේ රනිල් සජිත්ට පල නොකියා පලා බෙදා, කරු, නවීන් ඇතුළු එජාප නායකයා වෙන්නට සිටි සියල්ල කපා රුවන් විජයවර්ධනට පක්ෂ නායකත්වය ගන්නට පාර කපා දුන්නේය. එදා එස්මන්ඩ් සර්, ජෝන් කපා ඩඩ්ලි අගමැති කළේ ඔහු ඩී. ඇස්. ගේ පුතා වන නිසාය. මෙදා රනිල්, සජිත්, නවීන්, කරු කපා රුවන් එජාප නියෝජ්‍ය නායකයා කළේ ඔහු තමාගේ මස්සිනා නිසාය. රුවන්, රනිල්ගේ අම්මාගේ සොයුරාගේ පුතාය. එජාපයේ මීළඟ නායකයා වන්නේ රනිල්ගේ මස්සිනා බව ‘සති අග අරුණ’ කීවේ මීට තෙසතියකට ඉහතදීය. එසේ කීවේ එජාපයේ නායකයන් පත්වන්නේ දේශපාලන සුදුසුකම් අනුව නොව ලේ නෑකම අනුව බව ඔවුන්ගේ පරපුරේ තෝම්බුව සමගය. ‘සති අග අරුණ’ කී කතාව දැන් යළිත් වරක් සනාථ වී තිබේ. කෙසේ නමුදු රුවන් විජයවර්ධන පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්වීම සමග තවත් කාරණාවක් එළියට ආවේය. ඒ රනිල් පක්ෂ නායකත්වයෙන් මෙතුවක් කල් ඉවත් වීමට කල් මරමින් සිටි රහසය. ඔහු මෙතෙක් කල් මැරුවේ මස්සිනා පක්ෂ නායකත්වයට සූට් මහන තුරුය. රනිල්ට තමා නැත්තටම නැතිවී පක්ෂය දෙකඩ වී මන්ත්‍රී ආසන ගණන එකට බැස්සත් ප්‍රශ්නයක් නැත. මස්සිනා දැන් පක්ෂයේ නායකයා වෙමින් සිටී. එසේ බලන විට ලෙඩා මළත් ප්‍රශ්නයක් නැත. බඩ සුද්දය. මිහිරි ෆොන්සේකා
 

More News..