brand logo

මසකට රටම මෙට්‍රික් ටොන් 65000ක් ගිලන පාන්පිටිවලින් මහා පරිමාණ ගසා කෑමක්

19 January 2019

කිලෝග්‍රෑමයකින් රුපියල් 53ක අධි ලාභයක්

ප්‍රබල ව්‍යාපාරිකයින් පස් දෙනෙක් - ඒ අතර ඇමැති සහෝදරයකුත්

තිරිඟු පිටි අලෙවිය සඳහා උපරිම මිලක් නියම කර තිබියදී කිලෝග්‍රෑමයේ පැකට් සකස් කර ඉහළ මිලකට අලෙවි කර පාරිභෝගිකයන් ගසා ගෙන කෑමේ ජාවාරමක නිරත වන කූට ව්‍යාපාරිකයින් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. 2015 පෙබරවාරි 20 දින අංක 1902/55 අති විශේෂ ගැසට් පත්‍රය මගින් තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 බෑගයක ඇති කිලෝග්‍රෑමයක් රුපියල් 87 බැගින් අලෙවි කළ යුතු බවට නියෝගයක් නිකුත් කර ඇත. එහෙත් කිලෝග්‍රෑමයේ පැකැට්ටුවක් සඳහා උපරිම මිලක් නියම කර නොමැත. එම තත්ත්වය මත කිලෝග්‍රෑම් 50 තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 87 බැගින් වූ මිලකට ගෙන කිලෝග්‍රෑමයේ පැකට් සකස් කර විවිධ මිල ගණන්වලට එක් එක් ලේබලය යටතේ අලෙවි කෙරෙයි. ලංකා සතොස පිටි කිලෝග්‍රෑම් එකකමිල රුපියල් 99ක් වන අතර වෙනත් ව්‍යාපාරිකයින් පිටි කිලෝග්‍රෑම් එකක පැකැට්ටුවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 140 වූ විවිධ මිල ගණන්වලිනි. ඒ අනුව සතොසට පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 12ක ලාභයක් ලැබෙද්දී අනෙක් ව්‍යාපාරිකයින් රුපියල් 53ක අධික ලාභයක් ලබා ගනී. ලංකා සතොස ආයතනය මගින් කිලෝග්‍රෑමයක් අලෙවි කරන්නේ රුපියල් 99ක මිලකටය. එමගින් රුපියල් 12 සිට 53ක අධිලාභයක් ඔවුන් කිලෝග්‍රෑමයකින් ලබයි. මේ ආකාරයට ප්‍රධාන ව්‍යාපාරිකයින් පස් දෙනකු පමණ රුපියල් 87 බැගින් වූ තොග මිලට තිරිඟු පිටි ලබාගෙන කිලෝග්‍රෑමයේ පැකට් කර අලෙවි කිරී‍ම් ජාවාරමේ නිරතව සිටිති. ඒ අතර ප්‍රබල ඇමැතිවරයකුගේ සහෝදරයකුද සිටින බව තොරතුරු වාර්තා වේ. ප්‍රධාන සමාගම් දෙකකට තිරිඟු පිටි අපනයනයට අවසර ඇත. මේ දිනවල තිරිඟු ඇට ටොන් එකක් ඩොලර් 220 වන අතර ඒ සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 6ක බද්දක් අය කරයි. එහෙත් පිටි ආනයනයේදී රුපියල් 16ක බද්දක් අයකිරීම නිසා වෙනත් ව්‍යාපාරිකයින් පිටි ආනයනයට යොමු නොවේ. මසකට තිරිඟු පිටි මෙට්‍රික් ටොන් 65000ක් රට තුළ අලෙවි වන බව වාර්තා වේ. චමින්ද සේනාරත්න
 

More News..