brand logo

මව්වරුන්ට ලෙන්ගතු සොයිසා රෝහලේ සුරූපී හෙදිය

15 May 2020

මේ කාලය තුළ බොහෝ සෙයින් ඇඟයීමට ලක්වන සුව විරුවන් අතරේ. කලාවේ විවිධ අංශ නියෝජනය කරන දක්ෂතා දක්වන පිරිසකුත් ඉන්නවා. මේ අද දවසේ ‘හැඩවැඩ’ කතාබහ වෙන්වන්නේ එවන් සොඳුරු යුවතියකට. ඇය නමින් ශ්‍යාමා දහනායක. කොළඹ ද සොයිසා කාන්තා ළමා රෝහලේ ඉන්න සුරූපී හෙද නිලධාරිනියක් තමයි ශ්‍යාමා කියන්නේ. 2017 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගත්තෙත් ඇයයි. ශ්‍යාමා අපි ඒ අතීතය පොඩ්ඩක් මතක් කරමු.. මම කුරුණෑගල හෙද විදුහලේ දෙවැනි වසරේ ඉගෙන ගන්න දවස්වල තමා දෙරණ මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණේ. ඒ 2017 වසරේ. ඉතින් මට වාසනාව ලැබුණා ඒ කිරුළ දිනා ගන්න. ඊට පස්සේ මම ලෝක මිහිකත රූ රැජින තරගයත් නියෝජනය කළා. එහිදීත් උප කිරුළු හතරක් දිනා ගන්න පුළුවන් වුණා. උපන් ගම? මගේ ගම කුරුණෑගල. පාසල් ගියේ? කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය. ඒ එක්කම පවුලේ විස්තර? අම්මා, අප්පච්චි සහ මට ඉන්නේ එක වැඩිමහල් සහෝදරියක් විතරයි. පාසල් කාලයේ කලා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙනවාද? කලා කටයුතුවලින් මම නැටුම්වලට තමා මම දක්ෂතා දැක්වූයේ. පාසලේ දී වුණත් ශ්‍යාමා නම් නැටුම් කියලා තමා යාළුවෝ කියන්නේ. ඊට අමතරව මම පොඩි කාලේ ජාතික රූපවාහිනියේ මුතුහර වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා. මිස් ශ්‍රී ලංකා තරගයකට සහභාගී වෙන්න හිතුවේ ඇයි? උසස් පෙළින් පස්සේ මම නිරූපණ ක්ෂේත්‍රය ගැන හැදෑරීමක් කළා. ඒ හරහා මම නිරූපණ කටයුතුවලට සහභාගි වෙනවා. ඔය කාලේ තමා මට කට්ටිය කිව්වේ රැම් මොඩ්ලින් වලට වඩා ඔයා හරියන්නේ බියුටි ක්වීන් පැත්තට කියලා. ඒ නිසා තමා මම 2017 දෙරණ මිස් ශ්‍රී ලංකා එකට අයැදුම් කළේ. පොඩි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද? හීන දැක්කේ නම් ගුවන් සේවිකාවක් වෙන්න. මොකද මම හරි ආසයි ලස්සනට අඳින්න පලඳින්න. හබැයි මගේ අප්පච්චි ඒකට තදින්ම විරුද්ධ වුණා. ඒ නිසා ඒ අදහස අත්හරින්න වුණා. උසස් පෙළ ලියන්නේ ජීව විද්‍යා අංශයෙන්, ඩොක්ටර් කෙනෙක් කරන්නද අප්පච්චිට ඕනේ වුණේ? එහෙම නැහැ. ජීව විද්‍යාව උසස් පෙළට මම තෝරා ගත්තේ මගේ පාසලේ ගුරුවරු නිසා. මම ඉගෙන ගන්නත් දක්ෂයි. ඒ නිසා මට ගුරුවරු කිව්වා ශ්‍යාමා ඔයා ජීව විද්‍යාව තෝරා ගන්න, එතකොට ඒ පැත්තෙන් ඔයාට රැකියාවක් තෝරා ගන්න වුණත් පහසුයි කියලා. කොහොම හරි උසස් පෙළ ප්‍රතිඵලවලින් මට හෙද විදුහලට යන්න පුළුවන්කම තිබුණා. එතැනදී නම් අප්පච්චි තමා කිව්වේ හෙද විදුහලට යන්න කියලා. මගේ නම් මුලදී ඒ තරම් කැමැත්තක් තිබුණේ නැහැ මේ ක්ෂේත්‍රයට. දැන් කැමැතිද මේ හෙද වෘත්තියට? ගොඩක් කැමැතියි. රෝගී වූ කෙනෙක්ට ප්‍රතිකර්ම කරලා ඒ අය සුව වෙද්දී හිතට දැනෙන්නේ සතුටක්. ඒ නිසා දැන් නම් හරි සතුටින් තමා මේ හෙද වෘත්තීය කරගෙන යන්නේ. මම පළමු පත්වීම විදියට ඉල්ලුම් කළෙත් ද සොයිසා කාන්තා රෝහල. කියන්න සතුටුයි ඒ රෝහලම මට මුල්ම පත්වීම ලැබුණා. ඇයි විශේෂත්වයක් කළේ? මම පොඩි බබාලට හරිම ආදරෙයි. ඒ නිසා තමා මම ඉල්ලුම් කළේ. මම ඉන්නේ ශල්‍යාගාරයේ. හැබයි ලොකු වගකීමක්. මෙහි බැරෑරුම්කම දැන ගත්තේ ආවට පස්සේ. විශේෂයෙන්ම මේ කාලේ ලොකු අත්දැකීමක් ලබනවා. කොහොමද ලබන අත්දැකීම? කොරෝනා නිසා බබාලා හම්බෙන්න එන අම්මලාව අපි පරික්ෂා කරනවා. එතැනදී මම කරපු එක පරීක්ෂණයක් පොසිටිව් පවා වුණා. අපි නියමිත ක්‍රමවේද අනුව ආරක්ෂා වෙමින් කටයුතු කරන නිසා ඉන් බලපෑමක් වුණේ නැහැ. ඒ වගේම අපි නිතරම අම්මලට කියන්නේ මාස්ක් එක දාගෙන ඉන්න කියලා. නමුත් ඒ අයට මේ කාලය තුළ තියෙන අපහසුතා එක්ක ඒක යම්කිසි ගැටලුවක් කියලා අපිට දැනෙනවා. මිස් ශ්‍රී ලංකා වුණාට පස්සේ රඟපාන්න ආරාධනා ආවේ නැද්ද? ආරාධනා නම් ගොඩක් ලැබුණා. නමුත් මගේ හෙද විදුහලේ අධ්‍යාපන කටයුතු එක්ක මට ඒවාට යොදවන්න කාලයක් තිබ්බේ නැහැ. මම මේ වෙලාවේ අවස්ථාවක් කර ගන්නවා මට ඒ ආරාධනා කළ අයට ස්තූතිවන්ත වෙන්නත්. මොකද ආරාධනා ආවේ නැහැ කියනවා නම් ඒක බොරුවක් නිසා. දැන් ආරාධනා ආවොත් භාර ගන්නවද? මට ලොකු රඟපෑමේ හැකියාවක් නැහැ. නමුත් මගේ හෙද වෘත්තියට හානියක් නොවන විදියේ හොඳ චරිතයක් ලැබුණොත් භාරගන්නවා. එතකොට නිවේදනයට? නිවේදන කටයුතුවලට නම් කැමැත්තක් තියෙනවා. ආරාධනාවක් ආවොත් හිතලා බලනවා ඒ ගැන. එතකොට ආදරය විවාහය ගැන? ආදරය සුන්දරයි නේද... බලමු ඒ අත්දැකීමත් ඉදිරියේදී ලබා ගන්න. විවාහය නම් ගෙදරින් අම්මා හොයලා දෙන එකකට තමා කැමති වෙන්නේ. මොකද ඒ වගකීම මට භාර ගන්න බැහැ. ජීවිතය ගැන මෙතෙක් ආ මග ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම සතුටක් තියෙන්නේ. විශේෂයෙන්ම මම හෙදියක් වුණු එක ගැන අද සතුටක් තියෙන්නේ. මම ජීවිතේ යම් සාර්ථකත්වක් අද ලබලා තියෙනවා නම් මේ හෙද වෘත්තිය හරහා මම ලබපු පිනත් හේතුවෙන්න ඇති කියලා හිතෙනවා. ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. පුළුවන් විදියට හැමෝටම උදව් කරමින් ජිවිතේ සරලව සුන්දරව ගත කරන්න තමා කැමැති. අනූෂා රණසිංහ  
 

More News..