මලික් දැමූ පන්දුවට රනිල්ගෙන් හයේ පහරක්
15 September 2019
මලික් දැමූ පන්දුවට රනිල්ගෙන් හයේ පහරක්
15 September 2019
එක්සත් ජාතික පක්ෂයට සිය ජනාධිපති අපේක්ෂකයා නම් කරගත නොහැකි වූ තවත් සතියක් ගෙවී ගියේ ය. එම සතිය තුළ එ.ජා.ප.යේ ‘පිල් දෙක’ අතර තීරණාත්මක වූ ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් පැවති නමුත් එය ද ඉතා ම අසාර්ථක විය.'
අපේක්ෂකයා රනිල්මයි?
මුලින්ම මෙම සාකච්ඡාව අඟහරුවාදා දහවල් කාලයේ පවත්වන්නට සැලසුම් කර තිබුණත්, අවසානයේදී එය පැවැත්වුණේ අඟහරුවාදා රාත්‍රියේ ය. එමෙන් ම මුලදී මෙම සාකච්ඡාව ‘රනිල්-සජිත් ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් ලෙස හඳුන්වා තිබුණ ද, අවසානයේදී එය පැවැත්වුණේ කණ්ඩායම් සාකච්ඡාවක් හැටියට ය.
කෙසේවෙතත්, මුලින් සැලසුම් කළ රනිල්-සජිත් සාකච්ඡාව, පසුව ‘කණ්ඩායම් සාකච්ඡාවක්’ බවට පත් වූ ආකාරය අපූරුය. පසුදිනට යෙදී තිබුණු රනිල් - සජිත් සාකච්ඡාව සඳහා සජිත්ව සූදානම් කරවමින් සිටි මංගලට සඳුදා දවසේදී ‘වැදගත් ආරංචියක්’ ලැබුණි. ඒ එම සාකච්ඡාවට රනිල් සමග අමාත්‍ය රාජිත සේනාරත්න ද සහභාගි වන බව ය.
‘‘රාජිතට එන්න කියන්න ඇත්තෙ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සුළු පක්ෂ නියෝජනය කරන ‘මැදිහත්කරුවා’ හැටියට වෙන්න ඇති... ඔය වැඩේ නං එච්චර හොඳ දෙයක් නෙවෙයි... රනිලුයි රාජිතයි දෙන්න එකතු වෙලා සජිත්ට සටන අතඅරින්න කියල සජිත්ට බලපෑම් කරයි... රනිල්ටත් වෙන අය අය ගෙන්නන්න පුළුවන් නම් අපි සජිත්ගෙ පැත්තෙනුත් කවුරු හරි යවන්න ඕන...’’ මංගල කීවේය.
ඒ අනුව අඟහරුවාදා රාත්‍රියේ රනිල් සමග පැවැති සාකච්ඡාවට සජිත්ගේ පිලෙන් කබීර් හෂීම්, මලික් සමරවික්‍රම සමග රංජිත් මද්දුමබණ්ඩාර ද සහභාගි විය. කෙසේවෙතත්, සජිත් ‘පිරිවර‘ පිරිවරාගෙන පැමිණීම රනිල්ගේ නොඉවසිල්ලට හේතු වී තිබුණු අතර එහෙයින් සාකච්ඡාවේ මුල සිටම තත්ත්වය ‘අයහපත්’ විය.
මෙහිදී මුලින් ම සජිත් වෙනුවෙන් කතාබහ ආරම්භ කළේ, මලික් සමරවික්රමය.
‘‘අපිට පේන හැටියට සජිත් තමයි සුදුසු ම අපේක්ෂකයා... මොකද පක්ෂෙ බිම් මට්ටමේ අයත්, සාමාන්‍ය මිනිස්සු වැඩිදෙනෙකුත් ඉල්ලන්නෙ සජිත්ව...මං ළඟ තියනවා සමීක්ෂණ වාර්තා කිහිපයක්... ඒවායින් කියන්නෙත් සජිත් සුදුසුයි කියලයි...’’
කෙසේවෙතත් මලික් විසින් මේ ආකාරයට ගොඩනගන්නට පටන්ගත් කතාව රනිල්ගේ එක ‘වාක්‍යයකින්’ කඩා වැටුණේය.
‘‘ඔය සමීක්ෂණ ඔක්කොම කළේ, ඡන්දෙට මං එන්නෙ නැහැ කියන පදනමින්... ඒ නිසා ඔය කිසිම සමීක්ෂණයක් භාර ගන්න බෑ...ඡන්දෙට මං එන බව කිව්වනං ඔය ප්‍රතිඵලේ ඔයිට වඩා ගොඩක් වෙනස් වෙනවා... ඒ හින්දා මලික්, මෙතටන ඕවා එකක්වත් වලංගු නෑ...’’ රනිල් කීවේ ය.
මෙහිදී මලික් ‘‘අපි මේ කියන දේවල් වරදවා තේරුම්ගන්න එපා... අපට ඕන පක්ෂය දිනවන්න නෙ...ඒ නිසා බුද්ධිමත් තීරණයක් ගන්න...’’ යැයි කියමින් සිය කතාව අවසන් කළේ ය.
‘‘කොහොම වුණත් අවසන් තීරණය ගන්නෙ මම නෙවෙයි, කෘත්‍යාධිකාරී මණ්ඩලය... ’’ රනිල් පැවසුවේ ය.
‘‘සර්... අගමැති අපේක්ෂකත්වයයි, පක්ෂ නායකකමයි ඔක්කොම ඔබතුමා තියාගන්න... ජනාධිපති අපේක්ෂකකම විතරක් සජිත්ට දෙන්න..’’ යනුවෙන් කරන ලද සජිත් පිලේ අවසන් ඉල්ලීමට ද ඇහුම්කන් නොදුන් රනිල් පසුගිය සතියේ දී, ජනාධිපතිවරණය සඳහා තමන් ම ඉදිරිපත්වන බව කියමින් සිටියේ ය.