brand logo

මර බියෙන් ගැලවෙන්නේ කවදාද?

11 October 2019

දේශපාලනඥයන් ජනාධිපතිවරණයකට රට සූදානම් කරමින් සිටින අතරේ ජනතාව අතර යළිත් වරක් මරණ බිය පැතිර යන්නට පටන්ගෙන තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරය වැනිම කිසියම් අන්තවාදී ක්‍රියාවක් සිදුවනු ඇතැයි කාදිනල් හිමියන්ට ලැබී ඇති අනතුරු ඇඟවීමක් නිසාය. මේ මස 15 දාත්, 25 දාත් අතර කාලයේදී ප්‍රහාරයක් හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවනු ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කාදිනල් හිමියන් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත. ජනාධිපතිවරයා මේ ගැන ආරක්ෂක මණ්ඩලයේද අවධානයට යොමුකර ඇතත් ජාතික බුද්ධි සේවා කිසිවක් මෙවැනි අනතුරක් ගැන තහවුරු කොට නැත. එසේ වුවද කාදිනල් හිමියන්ගේ ඉල්ලීමට අනුව කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නට පියවර ගෙන ඇත. එසේම පාසල්වලද ආරක්ෂාව තර කරන්නට පියවර ගෙන ඇති බවක් දක්නට තිබේ. මේ අතර අන්තවාදී ප්‍රහාරයක් ගැන අනතුරු අඟවමින් කොළඹ තරු පන්තියේ හෝටල්වලට ලිඛිත දැනුම් දීමක් කළ කොටුව පොලිසියේ අපරාධ හා පරිපාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් කර ඇත. එකම හේතුවක් මුල්කරගෙන සිදුවන මේ පරස්පර සිද්ධි දාමය ජනතාවගේ බිය දෙගුණ, තෙගුණ කරන්නට හේතු වී තිබේ. ආණ්ඩුවේ බුද්ධි සේවා කුමක් කීවත් ජනතාව විශ්වාස කරන්නේ කාදිනල් හිමියන්ගේ වචනයයි. විනාශකාරී ක්‍රියාවක් ගැන තොරතුරු නැතිනම් කතෝලික පල්ලි හා පාසල්වල ආරක්ෂාව තර කරන්නට පියවර ගෙන ඇත්තේ මන්දැයි ජනතාවට ඇති කුකුසය. එසේම සංචාරක හෝටල්වලට අනතුරු ඇඟවීමක් කරන්නට කොටුව පොලිසියට කිසියම් පදනමක් තිබිය යුතු බව ඔවුන්ගේ කල්පනාවය. අප්‍රේල් 21 දා මේ රටේ මහා විනාශයක් සිදු වූයේ එවැනි සිදුවීමක් වන්නට නියමිත බවට ඉන්දීය රහස් ​ඔත්තු සේවා දැනුම් දී තිබියදීය. ඉන්දීය ඔත්තු සේවා දැනුම් දෙන තෙක් අපේ ඔත්තු සේවාවන්ට එවැනි තොරතුරක් ලැබී තිබුණේ නැත. එසේ නම් කිසියම් විනාශකාරී සිද්ධියක් පිළිබඳ කාදිනල් හිමියන් දැනුම් දී තිබියදීත් එවැනි අනතුරක් නැතැයි ඔත්තු සේවා කියන දේ මේ රටේ සිහි බුද්ධියක් ඇති ජනතාව පිළිගන්නේ කෙසේද? පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සිදු වූ ලොකුම හානිය වන්නේ තමන් අනාරක්ෂිත බවත්, තමන්ගේ ජීවිත රැක දෙන්නට ආණ්ඩුව අසමත් බවටත් ජනතාව තුළ ඇති වූ සිතුවිල්ලය. එය එසේ නොවන අතර තමන්ට ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ හැකි බවට සහතික වන්නට ආණ්ඩුවට මේ දක්වා හැකි වී නැත. පාස්කු ප්‍රහාරය අවස්ථාවේදී ජනතාව විශ්වාස කළේ යුද හමුදාව පමණකි. එහෙත් එවකට සිටි යුද හමුදාපතිවරයා නිල ඇඳුම ගැලවූ සැණින් දේශපාලනය තෝරා ගැනීම නිසා දැන් හමුදා නායකයන්ගේ වචනවලටද වටිනාකමක් නැතිව ගොස් තිබේ. මේ සියලු තත්ත්වයන් අනුව ජනතාව දැන් කල්පනා කරමින් සිටින්නේ කිසියම් අනතුරක් ගැන ඉඟියක් ඇතත් ආණ්ඩුව එය වසන් කරමින් සිටින බවය. මේ නිසා ඔවුන්ට දැන් ජීවත් වීමට සිදුව ඇත්තේ කොයි මොහොතක හෝ තමන්ටද මිය යන්නට සිදුවනු ඇතැයි යන භීතියෙනි. රැකියාවට යන තම සැමියා, බිරිඳ, දුව, පුතා සේම පාසල් යන තම දරුවන්ට කිසියම් කරදරයක් වනු ඇතැයි යන සැකයෙනි. මේ අන්දමට මරණයේ සෙවණැල්ල යට ජීවත් වීම මරණයට වඩා බියකරුය. එහෙත් වගකිවයුතු කිසිවකු මේ තත්ත්වය තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත. ගිනි පෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බය වන්නේ යැයි කීවත් අපේ බලධාරින් පාස්කු ප්‍රහාරයෙන් එවැනි පාඩමක් ඉගෙනගත් බවක් පෙනෙන්නට නැත. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන්ද විපතට පත් වූයේ සාමාන්‍ය ජනතාව මිස ඔවුන් නොවන නිසා විය හැකිය. ඕනෑම වගකිවයුතු ආණ්ඩුවක පළමු වගකීම වන්නේ තම ජනතාවගේ ජීවිත ආරක්ෂාව සැලසීමය. අනෙක් සියලු කරුණු කාරණා එන්නේ ඉන් අනතුරුවය. අපටද එවැනි ආණ්ඩුවක් ඇත්නම් මෙවැනි අනතුරු ඇඟවීමක් පිළිබඳ කිසියම් හෝ තොරතුරක් ලැබුණු විටක කරනු ඇත්තේ ඒ ගැන ජනතාව දැනුවත් කර ආරක්ෂාව ගැන සැලකිලිමත් වන ලෙසට උපදෙස් දීමය. තොරතුරු තහවුරු වුවහොත් වහාම ආරක්ෂක විධිවිධාන යොදන අතර එසේ නොවුණහොත් ජනතාව අතර පවතින අනියත බිය පහ කිරීම සඳහා ඒ බවද දැනුම් දෙනු ඇත. අවාසනාවන්තව අපේ රටේ සිදුවන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ද, නීති ප්‍රතිපාදන නොමැති වීම නිසා පරීක්ෂණ නවතා දමා නිදහස් කිරීමය. එවැනි තත්ත්වයක් තුළ ජනතාවට මර බියෙන් තොරව නිදාගන්නට හැකිවනු ඇත්තේ කවදාද?
 

More News..