brand logo

මරණ ලියාපදිංචිය නිවැරදි කරන ලෙස නව චක්‍රලේඛයක්

17 November 2020

රෝහල්වලදී හා හුදෙකලා කර ඇති ප්‍රදේශවලදී මෙන්ම කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු හෝ නිරෝධායන වන පුද්ගලයකු මරණයට පත්වුවහොත් පමණක් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර ඇත. ඉන් පරිබාහිරව සිදුවන මරණ පිළිබඳ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය නොවන බව එම චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ලිපියක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ නිවසක පුද්ගලයකු මියගිය අවස්ථාවේදී එම පුද්ගලයාගේ මරණය කොවිඩ් හේතුවෙන් සිදුවූ මරණයක් නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසු පමණක් ලියාපදිංචි කළ යුතු බවයි. මෙවැනි ක්‍රමවේදයක් කොවිඩ් අවදානම නොමැති ප්‍රදේශවලට අදාළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහසයි. නිවසක සිදුවන මරණයක් ලියාපදිංචි කිරීමේ මෙම ක්‍රමවේදය යළි නිවැරදි කරන ලෙස නව චක්‍රලේඛයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා වෙත දැනුම් දී තිබේ. මේ පිළිබඳව සියලුම උපත් හා මරණ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරුන්ට ලිඛිතව දැනුම් දීමට රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ද තීරණය කර ඇත. උදයජීව ඒකනායක
 

More News..